Friday, August 26, 2016

කවියට මානව දයාව කැන්දූ කොළඹ යුගයේ කිවියර




                                විමලරත්න කුමාරගම











කොළඹ යුගයේ විසු සුප්‍රසිද්ධ කවියෙකු වු විමලරත්න කුමාරගම මහතා 1919 ජනවාරි මස 18 වන දා පාතදුම්බර නාරම්පනාවේ දී උපත ලැබීය. පුංචි බන්ඩා කුමාරගම හා බණ්ඩාර මැණිකේ කුමාරගම ඔහුගේ දෙමාපියන් විය. ඔහු හත් දෙනෙකුගෙන් යුක්ත පවුලක දෙවනියා විය.

ඔහු මහනුවර මාකොලදෙනිය වේරපිටිය පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ අතර පසු කාලීනව තෙල්දෙණිය ද්වි භාෂා විද්‍යාලයේ හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය. ඔහු අවසාන වශයෙන් නුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර මැට්‍රිකුලේෂන් විභාගය විශිෂ්ඨ සමර්ථ සහිතව සමත් වූ අතර පාසැල් කාලයේ ද සිංහල කවිය පිළිබඳ  උනන්දුවක් දැක්වූ අතර කවි රචනයේ ද නියැළුණි.

මුලික අධ්‍යාපනය නිම කල මෙතුමා මුලින්ම සේවය කළේ 1942 වසරේ අනුරාධපුර දිසාපති කාර්යාලයේ ලිපිකරුවෙකු ලෙසය.1942 වසරේදී ආදායම් පාලක තනතුරට උසස් වු මෙතුමා කලවාන, බිම්තැන්නල, කොළොන්න, වන්නි හත්පත්තුව හා සංගිලි පාලම වැනි ප්‍රදේශ වල සේවය කළේය. වෘත්තියට අමතරව කලාවට ද සම්බන්ධ වු මෙතුමා පාඨක හදවත් තුළ ඉක්මණින් ලැඟුම් ගත්තේ ය.

මෙතුමාගේ රචනාවල දක්නට ලැබෙන ප්‍රධානම ලක්ෂණය වන්නේ වන්නිකරයේ ගැමි ජනතාවගේ දුක්බර ජීවිතය පිළිබඳව අත්දැකීම් තම නිර්මාණවලට උපයෝගි කර ගැනීමය. 'අයියනායක’ හා 'හේරත් හාමි’ මෙයට හොඳම නිදසුන්ය. මෙතුමාගේ නිර්මාණ පාඨක සහෘදයන්ගේ හදවත් තුළ ලැගුම් ගත්තා පමණක් නොව විචාරකයන්ගේ ප්‍රශංසාවට ද ලක් විය. මෙතුමා පුවත් පත් හා සඟරා වලටද පද්‍ය රචනා කළේය. කුමාරගම මහතා කෙටි කලක් අගනුවර තරුණ කවි සමාජයේ සංස්කාරකවරයකු ලෙස ද කටයුතු කෙළ්ය. ආණමඩුව, අනුරාධපුරය, බින්තැන්න, මහියංගන වැනි කර්කෂ ප‍්‍රදේශවල සේවය කිරීමට කුමාරගමයන් වඩා පි‍්‍රය කළේ ය. අහිංසක දුගී දුප්පත් වන්නියේ ජීවත්වූ ජනතාවට උපරිම වශයෙන් සේවය කිරීම ඔහුගේ එක ම අදිටන විය. ඔහු ජීවත්වූයේ, සේවය කළේ, කිහිරගුරක් වැනි රත්වුණු පරිසරයක ය. වන්නියෙන් තොර ජීවිතයක් ද ඔහුට නොවී ය.  කවි සිතුවිලි ද ගොඩනැගුණේ මේ පරිසරය වටා ය. ඒ කවිවලින් වහනය වූයේ වන්නියේ අව්‍යාජ ගැමි සුවඳයි. මෙයට කදිම සාක්ෂියකි ඔහුගේ අපූරු කාව්‍ය සංකල්පනා. වන්නියේ මල්ල හරක් හොරා, අයියනායක, යම්තම් බේරුණා, ගමේ වැව, හේරත්හාමි වැනි කවි නිර්මාණ තුළින් වන්නියේ සුන්දර ගැමියන්ගේ ජීවන සුවඳ අපට දැනෙන්නට ඔහු සැලැස්වී ය. 

ඔහුගේ වලස් දඩයම පද්‍ය පන්තියෙහි ඒන කවි වල මෙලෙස සඳහන් වේ.


පුලයි මායි පලුගස් දෙබලක                      මැස්සේ
සයිමා සමඟ කඩියා කැටවල                      අස්සේ
මෙහි ඇති හැම හඬට මගෙ හදවත            ගැස්සේ
අඩහඳ පලුව අද වනරොද මුදුනට               ඉස්සේ


ඒම අවස්ථාවේ දී ඔහුගේ හදවත සැලුණ අන්දම ද මානව දයාව ද මෙම පද්‍ය පන්තියෙන් විශද වේ.


හදිසියෙ දුටිමු කලුවක් වැව වෙත                අැදෙන 
වැලහින්නක් ය - අැය පසු පස දරු              දෙදෙන
යන්තම් අැසුණි හඬ පැටවුන් දිය                     අදින
කැටවල තුළින් එකණෙහි වෙඩි හඬ            නැගිණ


වම් ඉළයට වැටී ගති ඒ්                          වැළහින්න
මම කෑගැසිමි කඩියට වෙඩි                නොතියන්න
දගලන අතර අෑ තැතිගෙන                    නැගිටින්න
දුක්මුසු ලෙසින් හැඬුවා පොඩි දරු               දෙන්න


පොඩි පැටවුනුත් අැදගෙන රැඳෙනු         ඉඩ නොදී
අා කැලයට ම ඒ මව පැනපි                      අැදි අැදී
කකුලක් කැඩී ගියමුත් අැයගෙ                වෙඩි වැදී
දරුපෙම් මරන්නට ඒ මවට                        ඒය මදි 


හෙමිහිට අැදී යනතුරු දුරට ම                    බැද්දේ
හදවත පෙළී පැටවුන් වැළපෙන                  සද්දේ 
සංවේගයෙන් මා සිටි මැස්ස ද                    පැද්දේ
වැලපෙයි කිරළ රැළ උඩ පැන වැව             මැද්දේ


ගොලුවන් කියන දේ වැටහෙන සවන්           පෙතී
මා සතු වෙන්ට ඒදවස සිට පටන්                     ගතී
දරුවන් දකින විට සිය මෑණියන්                    නැතී
ඒ හැම දෙනම මගෙ නෑසියන්                       වෙතී


විමලරත්න කුමාරගම සූරීන් වන්නියේ ගැමි විශ්වාසයන් තමා පිළිනොගත්ත ද ඔවුන්ගේ ඇදහිලි, විශ්වාසයන් කෙදිනකවත් විවේචනයට ලක් නොකළේ ය. එය සක්සුදක්සේ පැහැදිලි වන්නේ ඔහුගේ අයියනායක කාව්‍ය නිර්මාණයෙන් ය.


සංහිඳ ළඟදි බාරෙට කිරි                          ඉතිරීම
කෙම්මුර දවස්වල පානින්                       සැරසීම
වන අතු කඩා ගස් දෙබලක                     දැවටීම
මා නොකෙරුවත් නෙකෙළෙමි එය        ගැරහීම


කොළඹ යුගයේ කවියකු වූ එච්.එම්.කුඩලිගම මෙන් පරිසර වැනුම්වලට ද විමලරත්න කුමාරගම දැක්වූයේ අසීමිත ආශාවකි. මෙහි වැදගත් ම විශේෂත්වය වූයේ වන්නි පරිසරය ඔහුගේ කාව්‍යවල පෝෂණ ගුණය වීමයි.

හිරිමල් පිපි හැම තුරු ලියකම                  බැද්දේ
සිරිබර ගතිය යන එන පවනෙහි               පැද්දේ
එක දවසකින් මේ සිරි කෝමද                  ලද්දේ
බඹරුනි කිමද අද මේ මංගල                     සද්දේ

විමලරත්න කුමාරගමයන්ගේ ඇතැම් කවි තුළ ජන කවියේ ලක්ෂණයන් ද ගැබ්වී තිබේ. මුවදෙනෙක් වෙඩි කා මියගිය පසුව ඉතිරිවුණු මුව පැටවුන්ගේ හැඟීම් අපගේ හදවතට මෙසේ දැනෙන්නට හේ සැලැස්වීය. මින් අපගේ සිත සසල වේ. මේ දෙපදය තුළින් අපට සිහිවන්නේ යසෝදරාවතයි.


ඉර පායා ඉර මුදුනට එන්න            එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න  එපා


විමලරත්න කුමාරගම කිවිඳුන්ගේ කාව්‍ය තුළ ප‍්‍රගතිශීලී ලක්ෂණ දක්නට ලැබුණි.  "හේරත් හාමි” කවිපෙළෙන් හේරත් හාමි කුමාරගම දකින්නේ, තමාට ද වඩා විසි තිස් ගුණයකින් දැහැමි පුද්ගලයෙකු ලෙස ය.


අවනත සිනා රැලි වත නිතරම පතු                      රයි
හැම වදනක් ම අවිහිංසකව පතු                          රයි
හැමදා වගේ සවසට බොන ගිනි වතු                   රයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතු                   රයි



”වනපෙත දැවෙන විට
වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට
ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී
සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක්
එතැන ඇත”


යන කවිය ඉමහත් විමසුමෙන් බලන විට ගැමි ජනතාවගේ දෙවියන් ඇදහීමට නොගැරහීමේ විශාල මානව භක්තියක් කවියා තුළ නොඅඩුව අඩංගු වූ බැව් මනාව ඔප්පු වනු නිසැකය.  "හැමදා උදේ – හවසට බොන ගිනි වතුරයි – ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතුරයි” යනුවෙන් ඉතාම පහළ මධ්‍යම පාන්තික ශ්‍රමිකයකුගේ පපුව තුළට සැබෑවටම එබී බලා අදාළ මිනිස්කම හොඳාකාරව අවබෝධ කරගත් විමලරත්න කුමාරගමයෝ එමඟින් සහෘදයා කදිමට දැනුවත් කරලූහ.


       
පද්‍ය ග්‍රන්ථ


  •   සංවේග වේදනා   (1946)
  •   නිල් සිහිනය        (1941)
  •   ඔරුව                  (1942)
  •   සපුමලී                (1946)
  •   සුරතල්ලු             (1961)



  පද්‍ය රචනා      
  

  •  හේරත්හාමි
  •  යන්තම් බේරුනා
  •  පුසිගේ මරණය 
  •  ආරචිචිරාල
  •  වලස් දඩයම
  •  කිරා
  •  සිරගෙය
  •  හරක් හොරා
  •  සුන්දර හාමි
  •  මුතුගේ ප්‍රශ්න
  •  වන්නියෙ දොස්තර
  •  අවුරුදු නිවාඩුව
  •  ආගන්තුක සත්කාරය
  •  බුදුරුව


මනා පෞරුෂයකින් යුක්ත විමලරත්න කුමාරගමයන්ට සිංහල හා ඉංගී‍්‍රසි සාහිත්‍ය පිළිබඳව ද ඉතා උසස් දැනීමක් තිබිණි. හේ විවේක අවස්ථාවල දී ඉංගී‍්‍රසි සහ සිංහල පොත්පත් කියැවීමට දැක්වූයේ අසීමිත ආශාවකි. රත්නපුරයේ දිස්ති‍්‍රක්ක ආදායම් නිලධාරීවරයා ලෙස සේවය කරන සමයේදීල ඔහුගේ දිසාපතිධුරය දැරූවේ ඉංගී‍්‍රසි ජාතිකයෙකි.

කුමාරගම, කවියකු බව දිසාපතිතුමා දැන සිටියේ ය. ඉංගී‍්‍රසි දිසාපතිවරයා, තමාගේ දෙවනියා වූ උප දිසාපති විමලරත්න කුමාරගමටල ඉංගී‍්‍රසි සාහිත්‍ය පිළිබඳවත් විශේෂයෙන් ම ඉංගී‍්‍රසි කාව්‍ය ගැනත් තමාගේ දැනුම පෙන්වීමට හා බහුශ‍්‍රැතයෙක් බව කියාපෑමට ඉංගී‍්‍රසි කවියක් හඬගා කීවේය.


”විමලරත්නල ඔයා දන්නවද මා කිව්ව මේ අපූරු කවිය ටී.එස්. එලියට්ගේ  (T.S.Elliot) නිර්මාණයක්, ප‍්‍රබන්ධයක් බව.”

”සමාවෙන්න සර් ඔබතුමා ඔය කිව්ව කවිය එලියට්ගේ නොවෙයි. විලියම් ශේක්ස්පියර්ගේ. මං කියන්නම් ඔබට එලියට්ගේ කවි කිහිපයක්.”


දිය ඇල්ලක් ගලන්නාක් මෙන් එක දිගට ම එලියට්ගේ කවි කීපයක් ශබ්ද නගා රිද්මයානුකූලව කීමෙන් පසුව උප දිසාපතිගේ ඉංගී‍්‍රසි භාෂා ඥානය හා ඉංගී‍්‍රසි සාහිත්‍ය පිළිබඳ දැනුම ඉංගී‍්‍රසි ජාතික දිසාපතිතුමා මනා ව වටහාගත්තේ ය. ”ඔබ වැනි සිංහල, ඉංගී‍්‍රසි වියතෙක් ඇසුරු කරන්නට ලැබීම මගේ භාග්‍යයක්.” ඉංගී‍්‍රසි දිසාපති පැවසී ය. කවි දහස් ගණනක් ලියූ කුමාරගම විසින් ලියා පළකරන ලද්දේ කවිපොත් දෙකක් පමණි. 1940 දී "සංවේග වේදනා” ලියා පළකල අතර ඔහුගේ දෙවන කෘතිය වූයේ  "හපුමලී” ය.

ඉතාමත් සුන්දර, අව්‍යාජ ගැමියෙකු ලෙස ජීවත්වුණු විමලරත්න කුමාරගමයන් වන්නියට හා සිංහල කවියට ආභරණයක් විය. තමා යටතේ සේවය කළ කාර්යය මණ්ඩලවලට අසීමිත ආදරයක් දැක්වූ ඔහුට සේවක සේවිකාවන් මෙන් ම පොදු ජනතාව ද හදවතින් ම ඇලුම් කළේ ය. තනතුරුවලින් ඉහළ යන්නට යන්නට හේ තව තවත් නිහතමානී විය.

පාඨක හදවත් තුළ සදා නොමැකෙන අමරණීය කාව්‍ය රාශියක් බිහිකළ විමලරත්න කුමාරගම මහතා 1962.12.30 දින අප අතරින් වියෝ විය. "විමලරත්න කුමාරගමයන් අපූරු සුන්දර මිනිසෙකි. ඔහු ගැමියන්ට හදවතින් ම ආදරය කළේ ය. ඔවුන්ගේ දුකේදීත් සැපේදීත් කුමාරගමයන් ඔවුන් සමග විය."

1 comment: