Monday, August 8, 2016

සදා නොමියෙන සේකරයන්



                         
                                                      මහගමසේකර




සේකරයන්ගේ පෞද්ගලික ජීවිතයෙන් තොරතුරු බිඳක්.........




                      1929 අපේ‍්‍රල් 07 දින ගම්පහ  දිස්ත‍්‍රික්කයේ සියනෑ කෝරලයෙහි රදාවාන ගම්මානයේ මහගමසේකරයන් උපත ලැබුවේ ය. පියා මහගමගේ ජෝන් අප්පුහාමි වූ අතර මව රණවක ආරච්චිගේ රොසලින් නෝනා විය. රදාවානේ රජයේ පාසලෙන් හා කිරිඳිවැල රජයේ මිශ‍්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර 1945 දී රජයේ ලලිත කලායතනයට බැඳුණේ ය. ඉන්පසු නිට්ටඹුවේ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පුහුණුව ලැබූ එතුමා චිත‍්‍රකර්ම ගුරුවරයෙකු ලෙස ජීවිතය ඇරඹුවේ ය. පසුව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයෙකු , ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකවරයෙකු රජයේ ලලිත කලායතනයේ විදුහල්පතිවරයෙකු, අධ්‍යාපන අමාත්‍යාංශයෙහි සෞන්දර්ය ඒකකයෙහි ප‍්‍රධානියෙකු වශයෙන් ද කටයුතු කළේ ය. සේකරයන් පසුව ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත‍්‍රවේදී උපාධිය ලැබූ අතර විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙහි ආචාර්ය උපාධිය සඳහා ශාස්ත‍්‍රීය නිබන්ධනයක් ද සම්පාදනය කළේ ය. කවියෙකු ලෙසින් ජනතා සිතෙහි මුල්බැසගෙන තිබූ නමුත් සේකර යනු කවියට පමණක් සීමා නොවූ ප‍්‍රතිභාපූර්ණ කලාකරුවෙකි. 



මහගමසේකර යනු


කවියෙකු
ගීත රචකයෙකු
නවකතාකරුවෙකු
නාට්‍ය රචකයෙකු
චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙකු
කෙටිකතාකරුවෙකු
 චිත්‍ර ශිල්පියෙකු

ආදී පුළුල් ක්ෂේත‍්‍රයන් කරා විහිදී පැතිරුණු දක්ෂතාවන්ගෙන් පරිපූර්ණ වූ ප‍්‍රතිභාපූර්ණ නිර්මාණ ශිල්පියෙකි. 


නිර්මාණකරණයට පිවිසීම


                            ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී සිදුකරන ලද දේශනයකට සවන් දීමෙන් පසු තමාද ගීත රචනා කිරීමට පෙළඹුණ බව මහගමසේකරයන් සඳහන් කොට ඇත. එලෙස ආරම්භ කළ මහගමසේකරයන්ගේ නිර්මාණ වපසරිය ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත විය. එතුමාගේ ගීත , සරල ගීතය , චිත‍්‍රපට ගීතය , වේදිකා නාට්‍යය , මුද්‍රා නාටකය , පර්යේෂණ ගීතය දක්වා විශාල වපසරියක් දක්වා දියුණු විය. ඔහු සිය නිර්මාණකරණයේ දී සඳැස් කාව්‍ය ආකෘතිය මෙන්ම නිසඳැස් කාව්‍ය ආකෘතිය යොදාගෙන තිබේ.
                             සේකරයන් කොළඹ යුගයට අයත් කවියෙකු වූ අතර එම යුගයේ කාව්‍යවල ලක්ෂණයක් වන රොමැන්ටික්වාදී බව ඔහුගේ මුල් කාලීන කාව්‍යයන්වල තරමක් දුරට දක්නට ලැබේ. එම යුගයේ කවීන් අතරින් සේකරයන් වෙනත් මගක් ගත් කවියෙකු විය. ඔහුගේ කාව්‍ය නිර්මාණ තුළ මෙන්ම අනෙකුත් නිර්මාණයන්හි යථාර්ථවාදී බව ගැබ්ව තිබේ.
                             සේකරයන් විසින් රචනා කරන ලද නිර්මාණ කෘතීන් ”කාව්‍ය, ළමා සාහිත්‍ය, නාට්‍ය, නවකතා, කෙටි කතා, ශාස්ත‍්‍රීය” ආදී වශයෙන් වර්ගකොට දැක්විය හැකි ය. එතුමාගේ කාව්‍ය කෘතීන් ලෙස ”ව්‍යංගා (කේ. ජයතිලකයන් සමඟ 1960)” ,  සක්වා ලිහිණි (1962)”  ,  හෙට ඉරක් පායයි (1963)”  ,  මක් නිසා ද යත් (1964)” ,  නොමියෙමි” ,  ප‍්‍රබුද්ධ” ආදී කෘතීන් සඳහන් කළ හැකි ය. සද්දන්ත” ,  මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති සමඟ)” , හංස ගීතය” ආදිය ඔහු විසින් රචිත නාට්‍ය කෘතීන් ය. ඔහුගේ නවකතා ලෙස ” තුංමංහන්දිය ” , මනෝ මන්දිර” දැක්විය හැකි ය. ” සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ” වැනි වූ ශාස්ත‍්‍රීය කෘතීන් ද සේකරයන් විසින් ලියා පළ කොට ඇත. ”මහගමසේකරගේ නොපළ ගීත”,  මහගමසේකරගේ ගීත” ආදිය ඔහුගේ ගී පද රචනා ඇතුළත් කෘතීන්  වේ.
                           ලාංකීය ගීත අඹරේ සදා නොමැකෙන පහන් තරුව වූ මහගමසේකරයන් විසින් සුවහසක් ගායක ගායිකාවනට සිය අමිල වූ ගී පද සංකල්පනාවන් ලබා දුන්නේ ය. ඉන් වඩාත් ආලෝකය ලත් කලාකරුවාණන් ලෙස පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් සඳහන් කළ හැකි ය. අමරදේව සේකර සුසංයෝගය මෙරට එක් ගීත යුගයක් බිහි කිරීමට සමත් විය. ඔහුගේ තෙලි තුඩඟින් රචනා කරන ලද සුප‍්‍රකට ගීත කිහිපයක් මෙලෙස සඳහන් කළ හැකි ය. ” හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල (ගැටවරයෝ චිත‍්‍රපටය)” , ඈත කඳුකර හිමව් අරණේ (නල දමයන්ති නාටකයේ ගීතයක්)”  , ඇසේ මතුවන කඳුලූ බිඳුගෙන ඔබේ සිරිපා දොවන්නම්” , පාලූ අඳුරු නිල් අහස මමයි” , රත්නදීප ජන්ම භූමි” , ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි” , සිනිදු සුදුමුදු තලාවේ (සත්සමුදුර චීත‍්‍රපටය)” ,  අතීතයෙන් ගඟ ගලා බසී (තුංමංහන්දිය චිත‍්‍රපටය)” , මළ හිරු බසිනා සැන්දෑ යාමේ”.  



නිර්මාණකරණයට සිය පවුල් පසුබිමින් ලැබුණු ආභාසය


උපතින්ම ගැමියෙකු වූ සේකරයන්ගේ නිර්මාණයන්ට ඔහු ජීවත් වූ ගැමි පරිසරය , නිවසෙහි වටපිටාව  බෙහෙවින් බලපෑවේ ය. එය ඔහුගේ නිර්මාණ දිවිය පෝෂණයට ඉමහත් රුකුලක් විය.

     නිද :  තුංමංහන්දිය නවකතාව සඳහා පාදක වී ඇත්තේ ඔහුගේම ජීවිතය යි.

          වරක් මාධ්‍යකරුවෙකු නැගූ පැනයකට සේකරයන්ගේ පියා පිළිතුරු ලබා දී ඇත්තේ මෙසේ ය. 

”පුතාගෙ තුංමංහන්දිය පොතෙත් මනෝමන්දිර පොතෙත් කියවෙන්නෙ මායි පුතයි ගැන. ලොකු මාම      කියන්නෙ මං. සිරිසේන කියන්නෙ පුතා. මගෙයි එයාගෙයි කියුම් කෙරුම් තමයි ඒ ඔක්කොම.....”

සේකරයන්ගේ නිර්මාණ දිවියට පියාගෙන් ලැබුණු ආභාසය ඉතා ඉහළ ය.

සේකරයන්ගේ් බාප්පා කෙනෙකුු ගමෙහි නාට්‍ය ශාලාවක් ගොඩනගා කොළඹින් හා මීගමුවෙන් නාට්‍ය කණ්ඩායම් ගෙන්වා ප‍්‍රදර්ශනය කර තිබේ. මේ ටීටර්වල බෙන්ජමින් ප‍්‍රනාන්දු හා සෙබස්තියන් පීරිස් ගැයූ ගීතවලට තමා බෙහෙවින් ඇළුම් කළ බව සේකරයන් පවසා ඇත. සේකරයන්ගේ පියා ද මෙම නාට්‍යවල රඟපා ඇත.



සේකරයන්ගේ නිර්මාණ දිවියට බලපෑ දේශීය නිර්මාණකරුවන්ගේ ආභාසය


සේකරයන්ගේ නිර්මාණ දිවිය ආරම්භයේ දී මානවසිංහයන්ගේ කාව්‍ය ආභාසය බෙහෙවින් බලපා ඇත.

  
 නිද    ”  ඈත එපිට දිගු මඩලේ 
              මහකඳු වැටියක අසලේ
              නිහඬ පිටිය වනන්තරේ 
              මහ කළුවර ගස් අතරේ....”

යන මානවසිංහයන්ගේ ගී ඛණ්ඩයක ආභාසය සේකරයන්ගේ පහත කාව්‍ය රචනාවට බලපා ඇත.

      ”   අහසේ නිල් පැහැය උරා 
           මේඝවලා කඩින් පෙරා 
           යමුනා ගඟ ඉහළ කොනේ
           මල්බර නිල් උපුල් වනේ
           ඉඳුනිල් මිණිකැට අතරේ
           බැසයන සීතල වතුරේ....”

එමෙන් ම මානවසිංහයන්ගේ ප‍්‍රකට බැති ගීයක ආභාසය ගෙන සේකරයන් ලියූ අප‍්‍රකට වෙසක් බැති ගීතයකි.

     නිද   ” සෑ මිදුලේ සමන් මලේ
            වෙසක් සඳේ කැලූම් මැවේ
            සාධු සමාධි ගුණ ගීතයකි විහාරේ....”
            (මානවසිංහයන් ලියූ බැති ගීතය)


         ” විහාර මළුවේ සඳකැන් දහරේ
             අරලිය වදුලේ මල් පොකුරේ
             දුහුල් පහන්වල 
             ගොක්කොළ තොරණේ
             සුදු සඳරැස් එකසේ පැතිරේ....”
             (මහගමසේකරයන් ලියූ බැති ගීතය)

මුල් යුගයේ දී තමාට පුරෝගාමී වූ නිර්මාණ අනුව ගමන් කළ සේකරයන් එම මග වෙනස් කරමින්් ස්වාධීන කවි මාවතක් අනුගමනය කළේ ය. මානවසිංහයන්ගේ නිර්මාණවල කැපී පෙනෙන ලක්ෂණය වූයේ චමත්කාර සෞන්දර්යාත්මක ගුණය යි. එයට මානව සෞන්දර්ය එක්කළ සේකරයන් මානව ජීවිත ඇසුරින් කළ සෞන්දර්ය නිර්මාණවල විශේෂතාව බවට පත්කර ගත්තේ ය.

මහගමසේකරයන් මුල් අවධියේ දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ සාහිත්‍ය ඇසුරු කළේ ය. සේකරයන්ගේ ප‍්‍රථම ගීත නිර්මාණ ඇතුළත් ”ස්වර්ණතිලකා” නාට්‍යයෙන් එය මැනවින් පසක් වෙයි.

                   නිද     ”අන්ද මන්ද වූයේ මසිතා
                              මෙ පුවතින
                              කිම්ද නොදැනේ මේ අරුමා” 
                     (එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ ගී ඛණ්ඩය)

                           " අන්ද - මන්ද වීය චිත්ත මා
                              ඇගේ ස්වර්ණ කාන්තියෙන්
                              අන්ද - මන්ද වීය චිත්ත මා
                              කින්නරාංගනා සමාන
                              රූපයේන කායයේන
                              කින්ද මේ වුණේ
                              නොදැනේ ය මිතුරනේ ....”
                              (ස්වර්ණතිලක නාට්‍යය)

           නිද   ” මනමේ නාට්‍යයට ඇතුළත් වූ ”පේ‍්‍රමයෙන් මන රංජිත වේ” නම් සුප‍්‍රකට පේ‍්‍රම ගීතය සේකර සිය ”ස්වර්ණතිලක - ස්වර්ණතිලකා” අතර සිදුවෙන පේ‍්‍රම සංවාදය සඳහා ආභාසය කොටගෙන තිබේ.


                 ”උද්දාල - එනු ස්වර්ණලතා - එනු ස්වර්ණලතා 
                   මට පේ‍්‍රමයේ ආලෝකය පෑ
                   පුෂ්ප පිපී මකරන්ද ගලා එ් 
                   මාරුතයේ හැපිලා
                   සුගන්දේ ආනන්දේ ගෙන එන්නේ .....”

සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණයන්හි බලපෑම සේකරයන්ගේ නිර්මාණ තුළ සැඟව තිබේ.

          නිද    ”මනමේ නාටකයෙහි හමුවෙන ”ආලයෙන් වෙලි සැදි මෙ ලතා” යන්න සේකරයන්ගේ ගීතයක් වන ”අන්න බලන් සඳ”  ගීතයෙහි ”අත් පසුරින් තුරු පෙම්බරයන්  බඳ බන්දා සෙනේ තොසිනී” යන්නෙහි ගැබ්ව තිබේ. 

විද්‍යා චක‍්‍රවර්තීන්ගේ ”අමාවතුර” ගුරුළුගෝමීන්ගේ ”බුත්සරණ” , වෙස්සන්තර ජාතකය” ”ජාතක පොත” ඇතුළු සම්භාව්‍ය සාහිත්‍යයෙන් ලබාගත් ආභාසය ඉතා විශිෂ්ටය. 

සේකරයන් විසින් ”මූදු පුත්තු” නාට්‍යයට රචනා කරන ලද ”මුහුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා”  ගීතයත් ”ගැඹුරු සත්සමුදුර පතුල බිඳ ඇඹරි ඇඹරී වියරු දළ රළ” ගීතයත් ධීවර සංස්කෘතිය කියාපායි.


මහගමසේකරයන්ගේ නිර්මාණකරණයට පාදක වූ වස්තු බීජ

”රාජතිලක,ලයනල් සහ ප‍්‍රියන්ත පොතේ රාජතිලකගේ චරිතය නිර්මාණය කිරීමේ දී මූලික වශයෙන් නම් මට මතක් වුණේ අපේ පළාතෙ ඉන්න ප‍්‍රභුවරයෙක්. මීට අමතරව යම් යම් දේත් රාජතිලකගේ චරිතයේ තියෙනව, අමුතුවෙන් එකතු කරපු දේවල්. රාජසිංහ රජ්ජුරුවෝ මම දැකලා නෑ. පොත්වල කියවලා තියෙනවා. රාජසිංහ රජ්ජුරුවෝ කුළු මීහරකෙකුගේ අං දෙකෙන් අල්ලල මෙල්ල කළා කියලා. මගේ පොතේ රාළහාමිත් මේ වගේ හපන්කම් කරනවා.” (සුරවීර,1987,පි.78).

”මක්නිසාද යත්” යන කවි පොත ලිවීමෙන් මා අදහස් කළේ නගරයේ ජීවත්වන මධ්‍යම පන්තියේ මිනිසුන්ගේ ජීවිතයේ තියෙන නිස්සාරත්වය කීමටයි. ඒ මිනිසුන්ගේ දුක් කරදර කම්කටොලූ ඉදිරිපත් කිරීමටයි. ඒකයි මගේ අරමුණ වුණේ.” (සුරවිර,1987,පි.83).


අපි අත්දැකීම් , අදහස් ප‍්‍රකාශ කරන්නෙ මේ සමාජයට නම් ඒ සමාජයට ගැළපෙන භාෂාවක් යොදා ගැනීම සුදුසු බවයි මගේ පෞද්ගලික අදහස.” (සුරවීර,1987,පි.83).

”හෙට ඉරක් පායයි” කෘතියෙහි ගැමි ජීවිතය ඉක්මවාගෙන නගරයට පැමිණි කවියා නගරයේ දී ලබන්නා වූ අත්දැකීම් සම්භාරය හා එහිදී මඳින් මඳ කාර්මීකරණය වන්නා වූ නාගරික ජීවිතයේ අත්දැකීම් මෙහි දක්වා ඇත.


”මක්නිසාද යත්” කෘතියෙහි ගත් වහරත් , පුර වහරත් , ජන වහරත් ඉතාමත් විශිෂ්ට සංකලනයකින් සංශ්ලේෂණය කොට දක්වා ඇත. මේ අයුරින් කාව්‍යයන් රචනා කිරීම සඳහා කවියාට මනා වූ අන්තර් සංස්කෘතික අවබෝධයක් අධ්‍යයනයක් තිබිය යුතුම ය. සේකරයන් සතුව එම ගුණාංගය මනාකොට දැකගත හැකි ය.

මේ අනුව සේකරයන් සිය නිර්මාණකරණයේ දී පැරණි කාව්‍ය භාෂාව , ජනකවි භාෂාව , වර්තමාන ව්‍යවහාර භාෂාව ආදිය යොදාගෙන තිබේ.


මහගමසේකරයන්ගේ නිර්මාණයන්ට පාදක වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ

සේකරයන් කාව්‍ය සහ ගීතය ඇතුළු අනෙකුත් නිර්මාණයන් සඳහා ලැබූ විදේශීය ආභාසය

රබීන්ද්‍රනාත් තාගෝර් ,  ඕමාර් ඛයියාම් , ඛලීල් ජිබ්රාන් , සරෝජනී නායිදු වැනි ඉන්දීය හා වෙනත් රටවල කවි කිවිඳියන්ගේ නිර්මාණ සිංහල බසට පරිවර්තනය කොට ඇත. ඒ ඇසුරෙන් විවිධ නිර්මාණ කිරීම.

ඉන්දියානු කවියෙකු වු රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ කවියක් ඇසුරෙන් ,

              ” පටු අදහස් නම් පවුරෙන් ලෝකය
                කැබලි වලට නොබෙදී
                ඥානය නිවහල් වී 
                බියෙන් තොරව              
                හිස කෙළින් තබාගෙන
                සිටිනට හැකි කොහිදෝ.....”

ගීතය සේකරයන් වෙනත් සංස්කෘතික හර පද්ධතියකින් ලබා ගත්්ත ද ඔහු එය මෙරටට ගැළපෙන පරිදි අභිමානයක් ඇතිවෙන ආකාරයෙන් ගී පද සංකල්පනාව ගළපා ඇත. එය ඔහුගේ ප‍්‍රතිභාපූර්ණ බවෙහි ලක්ෂණය යි.

ඉන්දීය කිවිඳියක වන සරෝජනී නායිදු කිවිඳියගේ නිර්මාණයක් පරිවර්තනය කරමින් ”සන්නාලියනේ” ගීතය සේකරයන් විසින් නිර්මාණය කරන ලදි.

              ” සන්නාලියනේ සන්නාලියනේ
                 කාට ද ඇඳුම වියන්නේ
                 ඊයේ ඉපදුණු කුළුඳුල් දුවටයි
                 මේ පොඩි ඇඳුම වියන්නේ.....”

ඕමාර් ඛයියාම්ගේ ”රුබෙයියාට්” කෘතියෙහි 11 වැනි පද්‍ය සේකරයන් මෙසේ සිංහලට නගා ඇත.

      නිද ” තුරු වදුලේ 
               රුක් සෙවණේ පුෂ්පයක් අතින් ගෙන
               සුරාවිතයි ගී පොතයි අතින් ගෙන
               තුරු වදුලේ ඔබ  ගී ගයනා විට
               මේ වන රොද පාරාදීසයකි මට ” 


ථෙර ථෙරී ගාථා ඇසුරෙන් ඉතා සාර්ථක ගීත රචනා සිදු කිරීම.

නිද   ”ඔබේ දෑසයි ඔබේ දෑසයි මීන චංචල කිඳුරු දෑසයි” යන්න ථෙර ථෙරී      ගාථාවල සුභා තෙරණිය ඇසුරෙන් බිහි වූවකි. එහි එන ”නයනා කින්නරී මන්ද ලෝචනී” යන්න ” මීන චංචල කිඳුරු දෑස” විය.

”ඔබේ නමින් සෑය බඳිමි” ගීතයේ හමුවෙන ”ආලවඩන දන්ත කැකුළු කුන්ද සමන්” යන්න කාලිදාසයන්ගේ ”ශෘංගාර තිලකේ” හමුවන ගුරුළුගෝමීන් විසින් ”සුළු කළිඟු දාවත” රචනා කිරීමේදී යොදාගත් යෙදුමකි. ඒ අනුව පාලි හා සංස්කෘත සාහිත්‍යයේ බලපෑම නිර්මාණකරණයේ දී ඔහුගේ භාෂාව පෝෂණය කිරීමට මනා පිටිවහලක් විය.

          නිද      ”ඉන්දිවරේන නයනං මුඛ මම්බුජේනක
                       කුංදේන දන්ත මදරන් නව පල්ලවේන....”
                 (මහා කවි කාලිදාසයන්ගේ ශෘංගාර තිලකේ කාව්‍යකි)

තුංමංහන්දිය අධ්‍යක්ෂණය කිරීමේ දී මහගමසේකරයන් ඉන්දීය චිත‍්‍රපට අධ්‍යක්ෂක සත්‍යජිත් රායිගේ කෘතීන් සහ සිනමා ශෛලීන් වලින් නොමඳ ආලෝකයක් ලබාගෙන තිබේ. 

  • ගැමි ජීවිතය කලාත්මකව නිරූපණය කිරීමට වෑයම් කිරීම.
  • පුද්ගල සම්බන්ධකම්වලට ප‍්‍රධාන ස්ථානයක් දීම.
  • මානව භක්තියකින් යුතුව දුක සැප කැමරාගත කිරීම.



වැනි රායි අගය කරන ලක්ෂණයන්ට මහගමසේකරයන්ද ගරු කළේ ය. එපමණක් ද නොව ඇතැම් සිද්ධියකට පිටුපසින් ඇති පරිකල්පන ශක්තිය සත්‍යජිත් රායිගේ ”පාතර් පංචාලි” ,අපූ සංසාර්” වැනි චිත‍්‍රපට සිහියට නංවයි. 

සත්‍යජිත් රායි හැරුණු කොට ප‍්‍රංශ ජාතික ෂොන් කොන්තෝ සිනමාකරු ද මහගමසේකරයන්ට බෙහෙවින් සමාන අධ්‍යක්ෂකවරයෙකි.

සේකරයන් සංස්කෘත සාහිත්‍යට වඩා බෙහෙවින් ඇසුරු කළේ පාලි සාහිත්‍යයි. 

සේකරයන් විසින් රචිත ”ධවල සේනාංකය” කෘතිය ආතර් කොනන් ඩොයිල්ගේ ”ද වයිට් කම්පනි” කෘතියේ අනුවාදයකි.


චිත‍්‍ර ශිල්පය සඳහා ලැබූ ආභාසය

පියෙට් මොන්ඩි‍්‍රරයන් , ජූලියෝ ගොන්සාලේස් , ඉන්දීය චිත‍්‍ර ශිල්පීන් වන ජමිනි රෝයි , අම්රිතා ෂාර්ගිල් වැනි ශිල්පීන්ගේ් ආභාසය ලබා ඇත.

මහගමසේකරයන් කෙරෙහි වඩාත් බලපෑමක් කර ඇති චිත‍්‍ර ශිල්පියා ජමිනි රෝයි බව බොහෝ දෙනාගේ අදහස වී ඇත. ඔහුගේ ”කින්ග් ඔෆ් ද එලිෆන්ට් , ඩාන්සින් ගර්ල් , ද රෙඞ් හෝස් , කව් , ද හෙඞ් ඔෆ් ද සන්තාල් , සන්තාල් මදර් ඇන්ඞ් වයිල්ඞ්  වැනි චිත‍්‍ර සැළකිල්ලට ගැනීමෙන් එමඟින් සේකර ලැබූ ආභාසය පැහැදිළි වේ.

1969 දී යුනෙස්කෝ සංවිධානය වෙතින් ලැබුණු ආරාධනාවකට අනුව ඇමෙරිකාවට ගිය සේකරයන්ට නිව්යෝර්ක් , ලන්ඩන් හා පැරිස් යන රටවල නූතන චිත‍්‍ර කලාගාරයන් දැක ගැනීමේ අවස්ථාව ලැබීම. 

චීනය , රුසියාව වැනි රටවල පවා ඔහුගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයට තබා ඇත. 

චිත‍්‍ර ඇඳීමට දේශීය අමු ද්‍රව්‍ය වලින් සකසා ගත් වර්ණ භාවිතා කිරීම සහ පින්සල වෙනුවට බෝඹු කෝටු යොදා ගැනීම. 


සේකරයන්ගේ ආභාසය ලැබූ පසු පරම්පරාවේ කවීන්

රත්න ශ‍්‍රී විජේසිංහ (සේකරයන්ගේ කාව්‍ය ආභාසය බොහෝ දුරට බලපා ඇත.)
නන්දන වීරසිංහ    (සේකරයන්ගේ කාව්‍ය ආභාසය තරමක් දුරට බලපා ඇත.)
මහගමසේකරයන් ගුවන්විදුලි සේවයේ සංගීත අංශයේ නිබන්ධ සම්පාදකවරයා වූ යුගයේ අමරදේව සුසංයෝගය මත අපූර්ව නිර්මාණ සමුදායක් බිහිවිය.
පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන්ට හැරුණු කොට සේකරයන් විසින් නන්දා මාලිනී , වික්ටර් රත්නායක , සනත් නන්දසිරි , දයාරත්න රණතුංග ,  අමරා රණතුංග වැනි ගායක ගායිකාවන්ට ගීත රචනා කොට ලබා දී ඇත.
1974 ජනවාරි 14 දින හදිසි හෘදයාබාධයකින් මහගමසේකරයන් මිය ගිය අතර එහෙත් ඔහුගේ නාමය කිසිදා නොමියේ. සදා අමරණීය වේ. 



ආශ්‍රෙය ග‍්‍රන්ථ 

සුරවීර,ඒවී (1987) නිර්මාණ පසුබිම. නීලා ප‍්‍රින්ටින් වර්ක්ස්.