Saturday, July 16, 2016
විල්තෙර
" නැත ලොවේ අන් රසඳුනා ආදරය සේ සුවදෙනා " මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිය සිංහබාහු වේදිකා නාට්‍යයේ දී ආදරය දකින්නේ එසේ ය. සැබවින්ම ආදරය යන වචනය අප සියල්ලන්ම වැඩිපුරම අසන්නට කැමති වචනය කිව්වොත් මා නිවැරදිය. එහිදී තරුණ තරුණියන් අතර පවතින යොවුන් ආදරය තුළ ඇත්තේ කියා නිමකළ නොහැකි සුන්දරත්වයකි. සැබෑය ඒ ආදරය විඳීමට අප තුළ ඇත්තේ මහත් අභිරුචියකි. ආදරයට ආදරය කළ යුතුමය. එහෙත් ආදරය මුවාවෙන් අපේ ජීවිත බිල්ලට ගන්නට පෙරමං බලාගෙන හිඳින පිරිසක් සිටින බව අමතක නොකළ යුතුය.
සුපිපි සුගන්ධවත් පුෂ්පයන්ගෙන් සැදුම්ලත් විල්තෙර නම් ඉතා අලංකෘතය. එහි සුන්දරත්වය විඳීමට ඔබ ද මා ද එක සේ රුචිකත්වයක් දක්වයි. එහෙත් දියඹේ සැඟවුණ කිඹුලන් ද සිටින බව අමතක නොකළ යුතුම ය. අප දිවි ගෙවන මේ සමාජය ද එසේම ය. අලංකාර විල්තෙරක් බඳුම ය. එහෙත් අප නොදකින භයානක පැතිකඩක් ද එහි වන බව සැමවිටම මතක තබාගත යුතු ය. මලක් මුකුලිත වූ පසු එය පුබුදුවාලීමට සමත් කිසිවෙකු මෙදියත තුළ නැත. එසේ නම් කළ යුත්තේ මිලාන වී යාමට මත්තෙන් එමල රැක ගැනීම ය. ඒ වගකීම තරුණ නංගිලා දැරිය යුතුම ය. මන්ද සැම විටකම අප පසුපස අපේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට සිටිය නොහැකි නිසාවෙන් ය. අප අධ්‍යාපනය ලබන උසස් අධ්‍යාපන ආයතනය වෙත හෝ රැකියාවෙහි නිරත වී සිටින ස්ථානය වෙත හෝ අපේ දෙමව්පියන්ට පැමිණ අප ආරක්ෂා කරගත නොහැකි ය. එබැවින් අප සෑම මොහොතකම සමාජය දෙස නිරවුල් මනසින් අවදියෙන් සිට බැලිය යුතු ය. එසේ අවබෝධයෙන් කල් ගෙවන්නේ නම් කිසිම මොහොතක අපව උගුල් වලට හසු වන්නේ ද නැත.
" රුදුරු වන සතුන් සරනා අඩවියේ
පිටිසර ගමක කුසුමකි නුඹ නංගියේ
බඹර කුල බඹරු රඟදෙති හන්දියේ
දෙපයට පින් දී උන් මගහැර යන් නංගියේ "
කාලයේ වැලිතලාව
කාලයේ වැලි තලාවෙන්
අපේ සබඳකම්
මැකී ගිය ද
ඔබ මා බැඳි සෙනෙහස්
ගීතයේ
මිහිරි මතකයන්
දිවියේ කෙදිනක හෝ අප
සිත් මතින් මැකී නොයේ
තුරුපත්හිස් පවන් සලමින්
අපට
සුබාසිරි ගෙන ආ
මිහිරි යුගය
කෙතරම් සොඳුරුද
වසත් සමයේ මල් ගොමු අතරේ
මුමුණමින් පියමං කළ
අපගේ අහිංසක පෙම් ගීතය
අදටත් තුරුපත් මුමුණනු ඇත.........
බෞද්ධ දර්ශනය හා සංවර්ධනය
නුතනයේ විවිධ ක්ෂේත‍්‍රයන්හි විද්වතුන් ”සංවර්ධනය” නොයෙක් මානයන්ගෙන් දුටුව ද බෞද්ධ දර්ශනය තුළ සංවර්ධනය සඳහා ලබාදී ඇති ඉඩ ප‍්‍රස්ථාව කෙබඳු ද යන කාරණය පිළිබඳව විමසා බැලිය හැකි ය.
පංචකාම සම්පත්තිය ලබමින් අඹු දරුවන් පෝෂණය කරමින් ගිහි ජීවි’තයක් ගත කරන ගිහියා නිරතුරුවම ම මිල මුදල් පරිහරණයෙහි යෙදෙයි. බුද්ධ දර්ශනයට අනුව ගිහියෙකුගේ මූලික අරමුණ විය යුත්තේ නිවන කරා යන ගමන් මාර්ගය සකස්කර ගැනීම ය. එහෙත් ඊට ප‍්‍රථම ඒ සඳහා උභය ලෝකාර්ථ සංසිද්ධිය හෙවත් මෙලොව පරලොව දියුණුවට මංපෙත් විවර කරගත යුතු ය. බෞද්ධ දර්ශනයට අනුව මෙලොව දියුණුව ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත ය. එනම් භෞතික දියුණුව සහ ආධ්‍යාත්මික දියුණුවයි. භෞතික දියුණුව ළඟාකර ගැනීම සඳහා අංශ කිහිපයකින් ප‍්‍රගතියක් ඇති කරගත යුතු ය. ආර්ථික දියුණුව, සාමාජික දියුණුව, සංස්කෘතික දියුණුව, දේශපාලන දියුණුව, සහ සෞඛ්‍යය සංරක්ෂණය ආදී අංශයන්ගෙන් භෞතිකව දියුණුව ළඟා කරගත හැකි ය. ලෞකිකත්වයෙන් යුතු පරිසරයක දිවි ගෙවන ගිහියා විසින් ආධ්‍යාත්මික දියුණුව ද සළසාගත යුතු ය. එසේ සළසා ගැනීමෙන් පමණක් භෞතික වශයෙන් තමා ලද දියුණුව පිළිබඳ තෘප්තිමත් භාවයක් ලබාගත හැකි ය.
ගිහියාගේ මෙලොව ජීවිතය දියුණුවට පමුණුවා ගැනීම සඳහා මෙම කරුණු ඉවහල් වන බව මහා මංගල, සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ, දාළිද්දිය, නිධිඛණ්ඩ ආදී සූත‍්‍රයන්හි සඳහන් වේ. තම දියුණුව සළසා ගන්නා ලද ගිහියකු විසින් අනුගමනය නොකළ යුතු කරුණු පරාභව, වසල, ආදී සූත‍්‍රයන්හි විග‍්‍රහ කෙරේ. බුදුන් වහන්සේගේ දර්ශනය තුළ සංවර්ධනය යන කරුණේ දී ප‍්‍රශංසාවට බඳුන් කරනුයේ භෞතික හා ආධ්‍යාත්මික යන දෙඅංශයෙන් ම පෝෂණය ලද පුද්ගලයා ය.
” අන්ධංච ඒක චක්කුංච - ආරකා පරිවජ්ජයේ
ද්වි චක්කු පන සේවේ - සෙට්ඨෝ පුරිස පුග්ගලෝ ”
මෙහි අර්ථය අනුව ගත්විට අන්ධයා සහ එකැස්කනා යන පුද්ගලයන් දෙදෙනා ඇසුරු නොකළ යුතු අතර දෑසම ඇති ශ්‍රේෂ්ට පුද්ගලයා ඇසුරු කළ යුතු ය. මෙහි දී අන්ධයා යනුවෙන් අදහස් කොට ඇත්තේ භෞතික හා ආධ්‍යාත්මික යන දෙඅංශයෙන් ම පරිහානියට පත් පුද්ගලයා ය. එකැස්කනා යනු ආගම දහම අමතක කොට භෞතික දියුණුව පමණක් අපේක්ෂා කරන්නා ය. එවන් පුද්ගලයා උතුම් වන බව ශ්‍රේෂ්ට වන බව බුදුන් වහන්සේ දේශනා කළහ. මිල මුදල්, යානවාහන, ඉඩකඩම් ආදී වස්තු සම්පත් තිබීමෙන් පමණක් පුද්ගලයෙකුගේ දියුණුව තීරණය කළ නොහැක. මන්ද සංවර්ධනය යනු භෞතික සංවර්ධනය ම පමණක් නොවන බැවිනි.
සන්නිවේදන සත්ත්වයෙකු වන මිනිසාට සමාජයෙන් විතැන්ව හුදෙකලාව දිවි ගෙවිය නොහැකි ය. ඔහු සමාජ සත්ත්වයෙකි. ඔහුගේ කුදුමහත් ජීවන කර්තව්‍යයන් වලදී අනෙකාගේ සහයෝගය නොමඳව ලබාදිය යුතු ය. එ් අනුව අසරණත්වයට පත් දුගී දුප්පත් ජනයාට අතහිත ලබාදෙමින් සමාජයීය වශයෙන් දියුණුවක් ලැබිය යුතු ය. තමන් සතු ධනයෙන් කොටසක් වැය කිරීමෙන් අනෙක් පුදුගලයා සුවපත් කළ හැකිනම් එකී පුද්ගලයා වෙත සමාජයීය දියුණුව ළඟා වේ.
දේශපාලනමය වශයෙන් නිදහස්ව නිවහල්ව විචාරශීලී බුද්ධියකින් තීන්දු තීරණ ගනිමින් ක‍්‍රියා කරයි නම් දේශපාලන දියුණුව සංවර්ධනය නිරායාසයෙන් ම තමා වෙත ළඟාකරගත හැකි ය. පුද්ගලයෙකුගේ දියුණුව පිළිබඳව තීරණය කිරීමේ දී කායික හා මානසික නිරෝගීතාවය බෙහෙවින් වැදගත් වේ. යම්කිසි ක‍්‍රියාවක් ඇරඹීමට නම් මෙකී මෙකී කාරණා ද්විත්වයම එක හා සමානව පැවතිය යුතු ය. එය සංවර්ධනයේ දී බෙහෙවින් වැදගත් වන ප‍්‍රමුඛ සාධකයක් ලෙස බෞද්ධ දර්ශනයෙහි දක්වා ඇත.
භෞතික සංවර්ධනයෙන් පමණක් රටක් සමාජයක් සංවර්ධනය කළ නොහැකි බව බෞද්ධ සූත‍්‍ර දේශනාවන්හි දී නිරන්තරවම දක්නට ලැබෙන කරුණකි. එබැවින් ධාර්මිකව භෞතික වශයෙන් සංවර්ධනය ළඟා කරගත හැක්කේ කෙසේ ද? යන්න පිළිබඳව තවත් කරුණු රැසක් මඟින් ගෙනහැර දැක්විය හැකි ය. භෞතික සංවර්ධනයේ මූලිකම අංගයක් ලෙස ආර්ථික සංවර්ධනය වැදගත් වේ. මෙලොව දියුණුව සළසා ගැනීමේ දී ගිහියෙකු විසින් අනුගමනය කළයුතු ක‍්‍රම හතරක් පිළිබඳව ව්‍යග්ඝපජ්ජ සූත‍්‍රයේ දී බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා හා සමජීවිකතා එම කරුණු හතර වේ.
භෞතික සංවර්ධනයෙන් පමණක් රටක් සමාජයක් සංවර්ධනය කළ නොහැකි බව බෞද්ධ සූත‍්‍ර දේශනාවන්හි දී නිරන්තරවම දක්නට ලැබෙන කරුණකි. එබැවින් ධාර්මිකව භෞතික වශයෙන් සංවර්ධනය ළඟා කරගත හැක්කේ කෙසේ ද? යන්න පිළිබඳව තවත් කරුණු රැසක් මඟින් ගෙනහැර දැක්විය හැකි ය. භෞතික සංවර්ධනයේ මූලිකම අංගයක් ලෙස ආර්ථික සංවර්ධනය වැදගත් වේ. මෙලොව දියුණුව සළසා ගැනීමේ දී ගිහියෙකු විසින් අනුගමනය කළයුතු ක‍්‍රම හතරක් පිළිබඳව ව්‍යග්ඝපජ්ජ සූත‍්‍රයේ දී බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා හා සමජීවිකතා එම කරුණු හතර වේ.
” උට්ඨාන වීර්යාගතේහි
බාහබල පරිචිතේහි
සේදා වක්කිත්තේහි
ධම්මේන ධම්ම ලද්දේහි ”
මේ අනුව උට්ඨාන සම්පදා යනු බාහු බලය යොදවමින් දහඩිය වගුරවමින් ධාර්මිකව ධනය උපයා ගැනීමයි. සමාජයෙහි කුමන වෘත්තියක නියැළී සිටිය ද උට්ඨාන වීර්යයෙන් යුතුව එම කාර්යයෙහි යෙදිය යුතු ය. නැතහොත් කිසිදු සංවර්ධනයක් ළඟා කරගත නොහැකි ය. තමා උත්සාහයෙන් උපයා සපයා ගන්නා ලද ධනය රජුන්ගෙන් ගින්නෙන් ජලයෙන් සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම ආරක්ඛ සම්පදා නමින් හැඳින් වේ. සැබවින් ම ආර්ථික සංවර්ධනය සළසා ගැනීමේ දී උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්ථක්ඛායි, අනුකම්පක යන කල්‍යාණ මිත‍්‍රයන්ගේ උපකාරය ද අත්‍යවශ්‍ය ය. ඔවුන්ගේ උපදෙස් අවවාද තම ආර්ථිකය සංවර්ධනය කර ගැන්මට රුකුලක් වන්නේම ය. අයවැය සමව පවත්වාගෙන යාම සමජීවිකතා නම් වේ. එය ගාථාවකින් මෙසේ දැක් වේ.
” ඒකේන භෝගේ භුඤ්ජ්‍යෙය - ද්විකම්මං පයෝජයේ
චතුත්ථංච නිධාප්‍යෙය - ආපදාසු භවිස්සති ”
තම ධනයෙන් හතරෙන් එක් කොටසක් පරිභෝජනය ද කොටස් දෙකක් ප‍්‍රාග්ධනය සඳහා ද අනෙක් කොටස ඉතිරි කර තැබීමට ද පුද්ගලයා පෙළඹිය යුතු ය. නූතනයේ විවිධ ආර්ථික සූත‍්‍රයන්ගෙන් පසක් වන කරුණු බෞද්ධ දර්ශනය තුළ මෙලෙස සඳහන් වී ඇත.
ධාර්මික ලෙස ධනය උපයා ආර්ථික වශයෙන් සංවර්ධනය ළඟාකර ගන්නා තවත් ක‍්‍රමවේද රැසක් බුදුන් වහන්සේ දේශනා කළහ. එ් අනුව සළකා බැලීමේ දී අංගුත්තර නිකායේ අණන සූත‍්‍රය ඉතා වැදගත් කොට සැළකිය හැකි ය. එහි සැප හතරක් පිළිබඳව සඳහන් කරයි. එනම් අත්ථි සුඛ, බෝග සුඛ, අණන සුඛ සහ අනවජ්ජ සුඛ යි. තමාට ඇතැයි යන්වෙන් සිතා සතුටු වීම අත්ථි සුඛ වන අතර ධන ධාන්‍යයෙන් පරිපූර්ණයයි සිතා සතුටු වීම බෝග සුඛ වේ. කිසිම පුද්ගලයෙකුට ණය නොවී රටට සමාජයට බරක් සිට සතුටු වීම අණන සුඛ වේ. මෙම කරුණු හතරෙන් ආර්ථික සුරක්ෂිතභාවයක් ඇති කිරීමට කටයුතු කොට ඇත.
ආර්ථික සංවර්ධනයක් ළඟාකර ගැන්මට සිතා ක‍්‍රියා කරන පුද්ගලයා ”උදුම්බර ඛාදික” හෝ ”අජ්ද්ධුමාරික” නොවිය යුතු බව උන්වහන්සේ දේශනා කළහ. එනම් අතු සොළවා දිඹුල් කඩන්නා පමණ ඉක්මවා වියදම් කරන පුද්ගලයාට ද නොකා නොබී මිය යන්නා අජ්ද්ධුමාරික ලෙසට ද නම් කොට ඇත. එසේ නොකොට ආදායමට සරිලන පරිදි වියදම් කළ යුතු ය. එවිට ආර්ථික දියුණුවක් සංවර්ධනයක් ළඟා කරගත හැකි වේ. බුදුන් වහන්සේ විසින් ලෞකික සැපත සොයන ගිහියා හට ආර්ථික සංවර්ධනය ළඟා කරගත හැකි කරුණු තව දුරටත් දේශනා කොට ඇත. එකී කරුණු කිහිපයක් මෙසේ සඳහන් කළ හැකි ය.
” මිනිසා මල් වලින් රොන් එකතු කරන බමරකු මෙන් ධනය රැුස්කළ යුතු ය. සපයන ධනයෙන් හතරෙන් එක් කොටසක් දිනපතා භාවිතයට ගත යුතු ය. දෙකොටසක් දියුණුවේ වැඩ සඳහා යෙදිය යුතු ය. ”
බෞද්ධ දර්ශනය තුළ ආර්ථික සංවර්ධනය පිළිබඳව සඳහන් කරන අවස්ථාවන් වලදී ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳව ද කරුණු ඉදිරිපත් කරයි.
” උට්ඨානවතෝ සතිමතෝ - සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනෝ - අප්පමත්තස්ස යසෝභිවඞ්ඪති ”
මෙම ගාථාවෙන් උත්සාහය, සිහි ඇති බව, ක‍්‍රමානුකූලව වැඩ කිරීම, නිවැරදි ක‍්‍රියාවන්හි නිරතවීම, ආත්ම දමනය, දැහැමි බව, අප‍්‍රමාදී වීම ආදී පිළිවෙත් පුද්ගල දියුණුව සළසාලන මාර්ගයෝ වන බව පසක් කරති.
වර්තමාන සමාජයේ දී භෞතික සංවර්ධනය පමණක් ම සිය ජීවිතය කරගන්නා සුවහසක් ජනී ජනයා අවසානයේ දී ඔවුන්ගේ සිය මාළිගාවන් තුළ ම අතරමං වන ආකාරයක් දක්නට ලැබේ. බෞද්ධ දර්ශනයෙහි පිළිවෙත්වලට පටහැනිව යමින් ආදායම ඉක්මවා වියදම් කරන්නා වූ පුද්ගලයෝ සමාජයේ කොතෙකුත් දක්නට ලැබෙත්. යානවාහන, මිලමුදල්, ඉඩකඩම් මත ම සිය ආත්මය දියකර හරින ඔවුන්ට ජීචිත කාලය තුළ දී කිසිදු සුවයක් සැපතක් ළඟාකර ගැන්මට නොහැකි වේ. මන්ද ඔවුහු ජීවිතයේ අවසාන අදියර දක්වාම වෙහෙසෙන්නේ භෞතික දියුණුව පමණක් ම සළසා ගැන්මට වන නිසා ය. එහිදී ඔවුහු භෞතිකව කිසියම් වූ සැපතක් ළඟාකර ගත්ත ද ආධ්‍යාත්මික සුවයක් නොලබයි. තමන්ගේ ආදායමට අනුව වියදම් කිරීමට නොහැකි වන සෑම අවස්ථාවකදී ම සමාජයට ණයවී තම අවශ්‍යයතා සපුරා ගැනීමට යුහුසුළු වන අතර එහි අවසානය මානසික පීඩනයක් ගෙන දේ. වර්තමාන සමාජයේ භෞතික හා ආධ්‍යාත්මික යන දෙඅංශයෙන් එක් අංශයකින්වත් සංවර්ධනය නොවූ පිරිසක් මෙන් ම භෞතික වශයෙන් පමණක් සංවර්ධනය වූ පිරිසක් දක්නට ලැබේ. පමණ ඉක්මවා භෞතික වස්තූන් කරා යොමු වූවන්ට අවසානයේ දී නිසි සංවර්ධනයක් හිමි නොවේ. මන්ද ඔවුන්ට ආධ්‍යාත්මික ශික්ෂණයක් නොමැති බැවිනි. මෙකී භෞතික සංවර්ධනය කරා පමණක් සිත යොමු කළ පුද්ගලයා හට අවසානයේ දී මානසික ආතතිය, පීඩනය, නොයෙක් මානසික රෝගාබාධ ආදිය වැළඳීමේ ප‍්‍රවණතාවය ඉහළ අගයක් ගනු ලබයි. එබැවින් භෞතික වශයෙන් සංවර්ධනය වීම සඳහා අවධානය යොමු කරන්නාසේ ම ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහිද අවධානය යොමුකළ යුතු ය.
සුපිපි කුසුම
නපුරු සිතැගි
හදතුළ සගවාගෙන
විස සපුන්
මෙන්
හදකින් හදකට
විසම වපුරවාලන
මිනිසුන් සරනා
අඩවියේ
මිහිරි පල
සදාලන මහගු රුකක්
වනු මැන
සතුරුකම්
දරාගත නොහැකිව
ගහ කොළ ද
පණමුත් හැඩුමින් කල් ගෙවන
වියළී ගිය
බිම්කඩ වෙත
සිසිල් දිය
පොදක් ඉසිනු මැන
සැවොම දිනුම
ලැබිය යුුතු මුත්
ඒකිනෙකා තලා
පෙළමින්
හුදෙකලාවම
ජයම පතන මේ
කුරිරු ලෝ තලයේ
හැකි නම්
සුපිපි කුසුමක් වී
Friday, July 15, 2016
පියමැනීම
විදු මව්ගේ නොමද
සෙනෙහස ලබමින්
උතුම් වූ සිප්සතර හදාරා
දෙවසරකින්
විදි දුක්ගැහැට මදකට
මගහරිමින්
පියමැන්නෙමු සරසවි මව් වෙත
සැනසුම ලබනට
නැත .....................
මගුල් මුද්ද
සිය මිතුරෙකුගේ ප‍්‍රිය සාදයකට සහභාගී වූ සරත් සිය බිරිඳ වූ රූපිකා සමඟ ඔවුන්ගේ මෝටර් රථයෙන් නිවස බලා පැමිණෙමින් සිටියේ ය. ඇයගේ සිතෙහි සාදය පිළිබඳව තිබුණේ ඉමහත් ප‍්‍රසාදයකි. සිය සැමියා සමඟ නිවස බලා යන ගමනේ දී කතාබස් කරමින් පැමිණියේ ද සාදයේ තොරතුරු ය. එහිදී ගැහැණු පිරිමි රංගනයේ යෙදුණ හැටි කාන්තාවන්ගේ ආභරණ විලාසිතා ආදිය පිළිබඳව ඉමහත් රුචියකින් යුතුව පැවසුවා ය. මීට පෙරද ඔවුන් මෙවැනි සාදයන් සඳහා සහභාගී වී තිබුණ ද මෙම සාදය එම සෑම සාදයකටම වඩා නැවුම් බවක් වෙනස් මගක් ගත් බව සිය ප‍්‍රිය බිරිඳගේ මතය විය. මෝටර් රථය පදවන සිය සැමියාගේ අවධානය තම කතාව වෙතට ලබා ගැනීම සඳහා ඇය විටින් විට කතාව ගලා යන ආකාරය වෙනස් කරමින් කතා කරන්නට වූවා ය. එහිදී ඇය ” ඒක නෙමේ අනේ , මාර වැඩක්නෙ මහත්තයා අද වුණේ , මං මේ ඔයාට කියන්නමයි හිටියෙ ” ආදී වදන් සිය කතාවට එක්කර ගත්තා ය. එකී සෑම අවස්ථාවකදී ම ඇය බලාපොරොත්තු වූයේ සිය සැමියාගේ අවධානය තමා වෙතට නතුකර ගැනීමට ය. ඔවුන් සිය නිවස වෙත ළඟාවන විට මධ්‍යම රාත‍්‍රිය පසුවී පැයක් පමණ ගතවී හමාරය. නිවසට පැමිණි පසුද බිරිඳගේ කතාවේ අවසානයක් දක්නට නොලැබිණ. කතාව කොතනින් පටන් ගත්ත ද එහි කෙළවර වන්නේ සාදය පිළිබඳ තතු පැවසීමෙනි. පසු දින කාර්යාලයට යාමට තිබූ හෙයින් සරත් ඇඟපත සෝදාගෙන නින්දට සැරසුණේ ය. ගමන් මහන්සිය තිබූ හෙයින් වෙනදාටත් වඩා ඉක්මනින් ඔහු නින්දට වැටුණේ ය. එහෙත් සිය බිරිඳ වූ රූපිකා පසුවූයේ නොනින්දේ ය. ඇය ඇඳෙහි ඒ මේ අත පෙරලෙමින් කල්පනා කරන්නට විය. බොහෝ වේලා ගිය පසු ඇය ද නින්දට වැටුණේ ය.
මෙහි කතා නායකයා වන සරත් මධ්‍යම ප‍්‍රාන්තික පවුලක තරුණයෙකි. සිය පවුලේ වැඩිමහල් දරුවා වන ඔහුට සිටියේ නැගණියන් දෙදෙනෙකි. ඔවුන් ඔහුට වඩා වසර හතර පහකින් බාල ය. තම නැගණියන් දෙදෙනා විවාහ කරදීමට පවුලේ වැඩිමලා ලෙසින් ඔහු දිවා රෑ වෙහෙසී කාර්යාලයෙහි වැඩවල නිරත වූවේ ය. සිය පියා විශ‍්‍රාමලත් පාඨශාලාචාර්යවරයෙකි. මව ගෘහණියක් වූ අතර වත්ත පිටියේ වගා කිරීම ඔවුන්ගේ සිරිත විය. එයින්ද සුළු ආදායමක් අතට ලැබිණ. පවුලේ එකම පිරිමි දරුවා වූ හෙයින් ඔහුට වගකීම් සමුදායක් දැරීමට සිදුවිය. එකී වගකීම් වලින් පිට පැනීමට ඔහු කිසිසේත් ම උත්සාහ නොකළේ ය. සිය දෙමාපියන්ට නැගණියන් දෙදෙනාට ඔහු මහත් සේ ආදරයක් සෙනෙහසක් දැක්වී ය. ඔවුන්ව නොසළකා හරින්නට කිසිවිටෙකත් ඔහු නොසිතී ය. දිවා රෑනොබලා වෙහෙසී කාර්යාලයේ ලිපි ගොනු අතර සිරවූයේ සිය නැගණියන් දෙදෙනාව කිසිදු අඩුපාඩුවක් නොමැතිව දෑවැද්දක් සමඟ විවාහ කරදීම සඳහා ය. නැගණියන් දෙදෙනා විවාහ කරදුන් පසු ඔහුත් දෙමාපියනුත් පමණක් මහගෙදර ජීවත් විය. මවගේ සහ පියාගේ දැඩි ඇවටිල්ල මත විවාහයක් පිළිබඳ සිතන්නට ඔහුට ද කාලය එළඹිණ. මේ වන විට තිස්වන වියට ළඟා වෙමින් සිටි ඔහු ද දෙමාපියන්ගේ තීරණයට පිටු නොපෑවේ ය. වසර ගණනාවක් මඟුල් තුලා කතා කොට පළපුරුද්ද ඇති අන්දිරිස් කපු මහතා ලවා හොඳ තැනකින් කටයුුත්තක් කතා කරන්නට සිය දෙමව්පියන් කළ තීරණයට ඔහු ද එකඟ විය. අන්දිරිස් කපු මහතා ඔවුන්ගේ පවුලට පෙළපතට ගැළපෙන ආකාරයේ තරුණ ගැහැණු ළමයෙකු කතාකර තිබුණේ ය. සරත්ගේ දෙමව්පියෝ ද සරත් ද මේ කටයුත්තට කැමැත්ත පළකර සිටියෝ ය. ඇය රූපිකා නම් විය. සැබවින් ම රූපයෙන් සුන්දර වූ ඇය ගුණවත් චරිතවත් තරුණියක් වූවා ය. පියා සහ මව යන දෙදෙනාම විශ‍්‍රාමලත් පාඨශාලාචාර්යවරුන් ය. පවුලේ එකම ගැහැණු දරුවා වූ ඇයට සිටියේ ඇයට වඩා වසර අට දහයකින් පමණ වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකි. ඔවුහු විවාහ වී සිටි අතර දරුවන් දෙතුන් දෙනෙකුගේ පියවරුන් ද වූහ. පවුලේ එකම දියණිය වූ හෙයින් සැප පහසුවෙන් යුතුව දෙමව්පියන්ගේ සහ සහෝදරයන් දෙදෙනාගේ ආදරය මැද හැදී වැඩුණා ය. පාසල් අධ්‍යාපනය උසස් ලෙස හමාර කර තිබූ ඇය දැන උගත් තරුණියක් වූ නමුදු සිය දෙමව්පියන් සහ සහෝදරයා ඇය රැකියාවකට පිටත්ව යනවාට කිසිසේත් ම කැමති නොවී ය. එහෙයින් ඇය නිවසට වී මවට උපකාර කරමින් මැහුම් ගෙතුම් කරමින් ගෙදර දොර වැඩ කටයුතු ඉගෙන ගත්තා ය. පවුල් දෙකේම කැමැත්තෙන් සහ දෙමව්පිය නෑදෑ වැඩිහිටියන්ගේ ආශිර්වාදය මත වෙසක් මස සුභ දිනයක දී ඔවුහු විවාහපත් වූහ. සරත් රූපිකාට වඩා වසර හතකින් වැඩිමහල් වූවේ ය. මේ වන විට විවාහ වී වසරක් පමණ ගතවී ගොස් ය.
පසු දින එලාම් ඔරලෝසුවේ නාදයෙන් තිගැස්සී අවදි වූ සරත් ලහි ලහියේ කාර්යාලයට යාමට සූදානම් විය. පෙරදින සාදයට සහභාගී වී පැමිණි හෙයින් බිරිඳ මේ වන විටත් තද නින්දේ පසුවිය. ඔහු ඇය දෙස ඉතා ආදරයෙන් බලා ඇඳ සමීපයට ගොස් ඇගේ හිස පිරිමදින්නට වූවේ ය. ඒත් සමඟ සිහින් කෙඳිරියකින් ඇගේ නෙතුපියන් විවර විය.
”සුදු මැණික මම වැඩට යන්න හදන්නේ......ඔයා තව ටිකක් නිදා ගන්න”
රූපිකා ඉතාමත් අපහසුවෙන් නැගිට තේ සෑදීමට සැරසුණේ ය. සරත් ඇයව වළකන්නට විය.
” අද මට තේ ඕනේ නෑ සුදු මැණිකෙ. ඔයා නිදා ගන්න. එක දවසක් තේ බිව්වෙ නෑ කියල මොකවත් වෙන්නෙ නෑනෙ. ”
යනුවෙන් ආදරයෙන් ඇය දෙස බලා කීවේ ය. සරත් ඇයව ආදරයෙන් තුරුලූ කරගෙන දෙකම්මුල් සිඹින්නට වූවේ ය.
” මම දැන් යනවා. ඔයා ඇවිත් දොර වහගන්න ”
රූපිකා සිය සැමියාට සමුදුන්නේ ඉමහත් දුකකිනි. ඒ ආදරණීය උණුසුමෙන් මොහොතකට හෝ ඈත්වීමට සිදුවීම මහත් දුකක් ගෙන දුන්නේ ය.
” හා.....ඔයා පරිස්සමින් ගිහිං එන්න. බුදු සරණයි ” සරත් නිවසෙහි කඩුල්ල සමීපයට යත්ම රූපිකා නැවත සිය හඬ අවදි කළා ය. ඇය උස් හඬින් මෙසේ කීවා ය.
” හවසට ඉක්මනින් ගෙදර එන්න. මං බලාගෙන ඉන්නවා..... ආ.... තව ඔයාට කියන්න දෙයක් තියෙනවා. ”
ඔවුන් දෙදෙනා ජීවත් වූයේ සරත්ලාගේ මහගෙවල් වලට කිලෝ මීටර හතක් පමණ එහායින් පිහිටි අල්ලපු ගමෙහි ය. රූපිකාට දායාද සඳහා දෙමව්පියන්ගෙන් මෙම නිවස හිමිවිය. රූපිකාගේත් ඇයගේ දෙමව්පියන්ගේත් දැඩි ඇවටිල්ල මත සරත් දෑවැද්දට ලැබුණු මෙම නිවසෙහි පදිංචියට පැමිණියේ ය. ගම්පහ නගරයට නුදුරින් පිහිටි සුන්දර ප‍්‍රදේශයක් වූ තම්මිට ගම්මානයෙහි රූපිකාගේ සහ සරත්ගේ මෙම නිවස පිහිටියේ ය. සරත් ගම්පහ නගරයෙහි පිහිටි සාප්පුවක කාර්යාලයෙහි සේවය කළේ ය. ඔහුගේ වැටුප හතලිස් දාහ නොඉක්ම වූවේ ය. සිය බිරිඳගේ දැඩි ඇවටිලි කිරීම මත මීට මාස හතරකට පමණ පෙර ඔහු ෆොක්ස් වැගන් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගත්තේ බැංකු ණයක් ලබාගෙන ඒ ආධාරයෙනි. එමනිසා සරත්ගේ මාසික වැටුපෙන් සැළකිය යුතු මුදලක් මේ ණය ගෙවීම සඳහා වැයවේ. එදින කාර්යාලයේ දී ඔහුට තමා පැමිණෙන විට බිරිඳ පැවසූ යමක් සිහියට නැගෙන්නට විය.
” ඔයාට කියන්න දෙයක් තියෙනවා ඉක්මනට එන්න ”
මෙම වදන් ඔහුගේ සිතෙහි දෝංකාර දෙන්නට වූවේ ය. ඔහු විටින් විට සිය ඔරලෝසුව දෙස බැලූවේ ය. වේලාව සවස පහයි කාල වන විට කාර්යාලයෙහි වැඩ අවසන් ය. වෙන දිනයන් වලදී මෙන් මිතුරන් සමඟ අල්ලාප සල්ලාපයෙහි නොයෙදුණු ඔහු ලහි ලහියේ ඊයක වේගයෙන් පැමිණ සිය මෝටර් රථයට නැංගේ ය. වෙනදා මෙන් බිරිඳ තමන් එනතුරු කඩුල්ල අසලට විත් බලා සිටින අයුරු ඔහු ඈත තියා දුටුවේ ය. එය ඔහුට මහත් ප‍්‍රීතියක් ගෙන දුන්නේ ය. බිරිඳ කෙරෙහි ආදරය දලූලා වැඩෙන්නට මෙය ද හේතුවක් විය.
” ඔයා අද වෙනදට වඩා ඉක්මනින් ඇවිත් ”
” ඉතින් ඔයා මට කියන්න දෙයක් තියෙනව කියල ඉක්මනින් එන්න කිව්වනෙ ”
බිරිඳ පවසන සෑම දෙයක් ම සාවදානව අසා සිටීමේ පුරුද්ද ඔහු ප‍්‍රගුණ කර සිටියේ ය. සිය නැගණියන් දෙදෙනාට දැක් වූ ආදරය , සෙනෙහස සිය බිරිඳට ද ඔහු දැක්වූවේ ය. ඇයට ආදරයෙන් කතා කරන්නට ඇයත් සමඟ දොඩමළු වන්නට ඔහු තුළ පැවතියේ නොමඳ කැමැත්තකි. ඉවසීමෙන් කටයුතු කරන ඔහු කෝප වන්නේ ඉතාමත් කලාතුරකිනි. මේ හේතුව ඔවුන්ගේ විවාහ ජීවිතය තුළ ගැටුමක් ඇති නොවීමට තුඩු දුන්නේ ය. රූපිකා සිය සැමියාට ඉඟුරු දැමූ තේ කෝප්පයක් සාදා ගෙනැවිත් දුන්නේ ය. දෙදෙනාම අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට විය.
” මේ ....... මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.”
” මං මේක ..... කියනවද..... නැද්ද..... කිය කිය හිත හිතා උන්නෙ.”
සරත්ගේ කුතුහලය දැල්වුණි.
” ඉතිං කියන්නකෝ මොකක්ද කියලා. ”
” අර..... අපි එදා පාර්ටි එකකට ගියේ......”
” ඉතිං .... ඉතිං....”
”එහෙදි මිස්ටර් ගමනායකගෙ නෝනව ඔයා දැක්කද?”
” ආ ..... අර මිසිස් චාන්දනී ද?”
” ඔව් ඔව් එයා තමයි. ” සරත්ගේ කුතුහලය තව තවත් වැඩිවිය. සිය බිරිඳ තමාට කියන්නට සැරසෙන්නේ කුමක්ද කියා ඔහුට තවමත් නොවැටහුණි.
” ඉතිං?”
” අනේ...... ඔයා දැක්කද එයා දාගෙන ඇවිත් තිබුණ මාලෙ. මං ඔයාගෙ අත එවේලෙ කෙනිත්තුවෙ, ඔයත් එතකොට මාලෙ දිහා බැලූවෙ ”
ඔහුට ද එම දසුන් පෙළින් පෙළට මැවෙන්නට විය.
” ඔව් ඔව් මට හොඳට මතකයි. ඉතිං මොකක්ද ඔයා කියන්න හදන්නෙ”
” ඒ මාලෙ හරිම......... ලස්සනයි අනේ ”
රූපිකා සිය සැමියා වට දැවටෙන්නට විය. ඔහු සමීපයට විත් ඇය හිඳ ගත්තා ය.
” අනේ........ මටත් ඒ වගේ එකක් තියෙනවනං ”
” ඒ වගේම එකක් නැති වුණාට ඔයාටත් ලස්සන මාලයක් තියෙනවනේ....”
” ඒක ඉතිං මඟුල් ගේ දවසේ පෝරුවෙදි දැම්ම එකනෙ. ඒකෙ පැටන් එක දැන් පරණයි.....”
සිය බිරිඳ පවසන්නට සැරසෙන්නේ කුමක්දැයි දැන් ඔහුට හොඳහැටි පැහැදිළි ය.
” ඉතිං ඔයා මට මොකක්ද කියන්නෙ? ”
” අනේ...... මහත්තයා...... මටත්..... ඒ.... වගේ..... එකක් අරන් දෙනව ද? ”
රූපිකාගේ අහිංසක ආයාචනය ඉවත දැමීමට සරත්ට නොහැකි විය.
” හා.....මං ඔයාට තව මාස දෙක තුනකින් අරං දෙන්නංකෝ. ”
” ඔයා දන්නවනේ....... සුදු මැණිකෙ. කාර් එක ගත්තට පස්සෙ සැලරි එකෙන් සෑහෙන ගාණක් බැංකුවට ගෙවෙන බව. එ් නිසා තව මාස දෙක තුනකින් මං ඒ මාලයක් අරං දෙන්නං.”
මෝටර් රථය ගැනීමෙන් පසු වැටුපෙන් සැළකිය යුතු ප‍්‍රමාණයක් බැංකු ණය සඳහා ගෙවීමට සිදුවන අතර සරත් සිය දෙමව්පියන්ට ද සෑම මසකම මුදලක් වෙන් කරයි. ඉතිරිවෙන මුදල හිඟයක් නොමැතිව සුවසේ ජීවත් වීමට පමණක් ප‍්‍රමාණවත් විය. ඉන් ඉතිරිය සඳහා වෙන්කළ හැක්කේ ඉතාමත් ම සුළු මුදලකි.
දින සති මාස ගතවී යමින් පැවතිණ. සරත් සෑම දිනකම උදෑසන කාර්යාලයට ගොස් නැවත හවස් යාමයේ දී නිවසට පැමිණියේ ය. රූපිකා ද ගෘහණියකගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කරමින් සිය සැමියා සමඟ සතොසින් කාලය ගත කළේ ය. ඔවුන්ගේ ජීවිතය සාමකාමීව ගලා යන්නට විය. එක් දිනක් හදිසියේ ම ගමනායකත් ඔහුගේ බිරිඳ චාන්දනීත් සරත්ලාගේ නිවසට පැමිණියා ය.
” ආ....... එන්න එන්න මේ මිස්ටර් ගමනායකලනෙ.... ඇවිත් වාඩිවෙන්න. ” රූපිකා ඔවුන්ට තේ සාදාගෙන එ්ම සඳහා සැරසුණාය.
” අනේ රූපිකා අපිට දැන් වෙලාවක් නෑ තේ බොන්න. තරහා වෙන්න එපා. අපි මේ පාර්ටි එකකට යන ගමන්. ”
ටික වේලාවක් කතාබහ කරමින් සිටි ඔවුහු නිවසින් පිටත් වූහ.
වැහිලිහිණියෝ නාද නගමින් අහසෙහි ඔබමොබ සක්මන් කරන්නට වූහ. මෙතෙක් වේලා නිසොල්මන්ව දැහැන්ගත වී සිටි අහස් තොමෝ ඝණ වැහිවලාකුළු ලහිලහියේ එකතු කරන්නට වූහ. මේඝවලාවන්ගෙන් පිරි අහස් තොමෝ ගැබ්බර වූහ. මුළු පරිසරය මෙන්ම ගහකොළ ද නිසොල්මන් ය. හතරවටින් අඳුර කුරගාමින් පැමිණ හාත්පස වසා පැතිරේ. අසුරු සැණින් විදිල්ලක් කෙටුවේ ය. ගෙරවුම් හඬින් අහස් ගැබ දෙදරන්නට විණ. වැහිබිඳු එක දෙක සෙමින් සෙමින් පොළෝ තලය සිපගන්නට විය.
රූපිකා දොර ජනෙල් වසා දමා ඇඳෙහි හාන්සි වී සිටියා ය. වෙනදා මෙන් සිය සැමියා පැමිණෙන අබියසට වී සිටින්නට ඇයට අද නොහැකිය. වර්ෂාව ඊට හරස් වී ඇත. කාර්යාලයේ වැඩ නිමවී නිවස බලා පැමිණෙමින් සිටි ඔහුට බිරිඳ සිහිවිය. ඇය වැසි දිනයන් වලදී සිදුවන විදුලි කෙටීම් ගෙරවීම් ආදියට බියක් දැක්වූවා ය. සරත් ඉතා යුහුසුළුව රිය පදවාගෙන නිවස කරා ළංවෙමින් සිටියේ ය. වේලාව සවස හය පමණ වී ඇත. එහෙත් වෙනදා මෙන් නිවසෙහි විදුලි බුබුළු දල්වා නොමැත. බිරිඳ මෙවැනි වැසි දිනයන් වලදී බියක් දක්වන හෙයින් ඇය ඇඳට වී නිදා සිටිනවා වන්නට ඇතැයි සරත් සිතන්නට විය. ඔහු නිවසේ දොර අසලට ගොස්, ” සුදු මැණිකේ......සුදු මැණිකේ. ” යනුවෙන් දෙතුන් වරක් ඇමතුවේ ය. ටික වේලාවකින් නිවසේ දොර ඇරුණේ ය. වෙනදා මෙන් සොම්නස් බවක් සිය බිරිඳගේ මුවෙහි නැතිබව දුටු සරත් වහවහා ඇයගෙන් එ් පිළිබඳව විමසා සිටියේ ය.
” ඔයාගෙ මූණත් හොඳටම මැලවිලා වගේ. ඔයාට මොකක් හරි අසනීපයක්වත් ද? ”
” නෑ මොකුත් නෑ. මගෙ ඔළුව ටිකක් රිදෙනව වගේ. ”
සරත් ඕඩික්ලෝන් බෝතලය ගෙනවිත් රෙදි කැබැල්ලකට ඕඩික්ලෝන් දමා බිරිඳගේ නළල මත තැබුවේ ය. ඇය මදක් නුරුස්නා බැල්මෙන් යුතුව සිය සැමියා දෙස බැලූවා ය. ඇයට හැඬුම් එන්නට විය.
” මං ඔයාට කොච්චර කිව්ව ද? දැන් මාස තුන පහුවෙලා කී දවසක් වෙනවද? අද ගමනායකයි එයාගෙ නෝනයි ආව පාර්ටි එකකට යන ගමන්. ”
සරත්ට සිදුවී ඇති දෙය පැහැදිළි විය. බිරිඳ හඬන්නට වූවා ය.
” මං ඔයාට කී දවසක් නම් කිව්ව ද? ඔයා මට ගෙනත් දෙනවා කියල පොරොන්දු වුණා. පොරොන්දු වුණේ නැත්නම් කමකුත් නෑ. ඒත් පොරොන්දුවෙලා ගෙනත් දුන්නේ නැති එකයි මට දුක. ”
සරත් ඇයට පොරොන්දු වූ පරිදිම එය ගෙනත් දීමට සිතා සිටි නමුදු එකතු වී තිබූ මුදල ඊට ප‍්‍රමාණවත් නොවී ය. තව ද මුදල් අවැසි වූ හෙයින් ඔහු ඒ මුදල ද එකතු කර ගනිමින් බිරිඳට එවැනි මාලයක් ගෙන දීමට සිතා සිටියේ ය. එදින රාත‍්‍රියේ දී බිරිඳ ඔහු සමඟ කතා නොකොට රැුය පහන් කළේ ය. සුපුරුදු පරිදි සරත් උදෑසන රැකියාවට පිටත්ව යාමට සූදානම් විය. බිරිඳ ද තේ සාදා ගෙනැවිත් මේසය මත තැබූ අතර වෙනදා මෙන් ඔහු සමඟ දොඩමළු නොවූවා ය.
රූපිකා නිවසෙහි වැඩ කටයුතු නිමකොට ආලින්දයට පැමිණ පුවත්පතක් බලමින් සිටියා ය. එක්වරම කාරයක් පැමිණ නිවසෙහි ඉදිරිපිට නවතන ශබ්දයක් ඇසී ඇය මිදුල දෙසට දිව ගියා ය. ඇය එවේලෙහි අපේක්ෂා නොකළ මුත් පැමිණ සිටියේ ගමනායක යුවල ය. මිස්ටර් ගමනායක වෙනදා මෙන් සිනහමුසු මුහුණින් පැමිණි මුත් බිරිඳගේ සිතෙහි කිසියම් කනගාටුවක් ඇති බව ඇයගේ මුහුණ දෙස බැලූ රූපිකාට වැටහුණා ය. දෙදෙනාට ම නිවස තුළට පැමිණෙන ලෙස රූපිකා ආරාධනා කළා ය.
” බලන්නකො මෙයාට මාර වැඩක් වෙලානෙ......”
යනුවෙන් පවසා ගමනායක මහ හයියෙන් සිනාසෙන්නට විය. එහෙත් ඔහුගේ බිරිඳගේ මුහුණ සොවින් ය.
” රූපිකා..... ඊයෙ අපි පාර්ටි එකට යද්දි මෙහෙ ආවනෙ. බලන්නකෝ.....මගේ මාලෙ කොහේහරි වැටිලනෙ. මෙහෙ වැටිලාවත් ද? කියලා බලලා යන්න ආවෙ. ”
” ආ.........අයියෝ........ ” යනුවෙන් රූපිකාට කියවුණි.
” මෙහේනම් වැටිලා තිබුණේ නෑ මිසිස් චාන්දනී. එ්ක ලොකු ගාණක් වෙන්නැති. ඔයා පාර්ටි එකට ගිය තැන බැලූවේ නැද්ද? ”
” බැලූවා හැමතැනකම බැලූවා. ඒත් ඒ එක තැනකවත් මාලෙ තිබුණෙ නෑ. මට හරිම දුකයි ඒ ගැන. ” මේ මොහොතේ ගමනායක හඬ අවදි කළේ ය.
” ඒක වටිනා මාලයක් නම් කමකුත් නෑ. ” රූපිකාට මෙම කියමන ප‍්‍රහේලිකාවක් විය. ”ඇයි ඒක වටින්නේ නැත්තෙ.......?”
” ඒක රත්තරන් මාලයක් නෙමේ. රෝල්ගෝල් එකක්. ඔය අපේ එක්කෙනා පිටකොටු ගිය වෙලාවක දැකලා ලස්සන නිසා ගෙනැල්ලා ” ඔහු සිනාසෙමින් පැවසුවේ ය.
”අනේ ඇත්ත ද! ඒත් ඒක රත්තරන් වගේමයි ”
” අද කාලේ ඒ වගේ එකක් දාන්නේ කොහොම ද? හැම තැනම හොරුනේ....... හරි ලස්සන මාලෙ. හැමෝම කිව්වා ඒක හරිම ලස්සනයි කියල. අපරා.....දෙ මගේ මාලෙ.”
වෙනදාට වඩා දිගු වේලාවක් කතාබහ කරමින් සිටි යුවල රූපිකාලගේ නිවසින් පිටත්ව ගියා ය. ඔවුන් පිටත්ව ගිය පසු සැනසුම් සුසුම් හෙලූ රූපිකා සිය සැමියා එනතුරු පෙරමග බලා සිටියා ය. ඔරලෝසුවෙහි හයේ කණිසම නාද වන්නට වුවත් සිය සැමියා පැමිණියේ නැත. රූපිකා ඔරලෝසුව දෙස බලමින් සිය සැමියා පැමිණෙන තුරු නෙත් අයා බලාගෙන සිටියා ය. වේලාව රාත‍්‍රී හතත් පසුවිය. එහෙත් ඔහු තවම නැත. මඳ වේලාවක් යත් ම සරත්ගේ මෝටර් රථයේ හඬ ඇසී රූපිකා කඩුල්ල දෙසට දිව ගියේ සොම්නසින් පිරි මුහුණින් යුතුව ය. සරත් වාහනය ගරාජයේ දමා සිය බිරිඳව තමා සමීපයට ළංකර ගනිමින් නිවස තුළට පියමැංනේ ය. බිරිඳ තමාට යමක් පවසන්නට සිතා සිටින බව ඔහුට දැණුන ද එය මොහොතකට පසෙකලා ඔහු ඇයව පුදුම කරන්නට සිතුවා ය.
” මං ඔයාට පොඩි දෙයක් ගෙනාවා. ඇස් වහගන්නකෝ. ආ....... හරි දැන් ඇස් අරින්න. ” ” ෂා.......... හරිම ලස්සන මාලයක්. ”
” ඔයා කිව්ව වගේ මාලයක් මම ගම්පහ හැමතැනම හෙව්වා. ඒත් ඒ වගේ ම එකක් තිබුණේ නෑ. ඉතිං මං හොයලා බැරිම තැන ඒකට ගොඩාක් ම සමාන මේ මාලෙ අරගෙන ආවා.”
රූපිකා ඇයට එවන් මාලයක් ලැබීම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටු වූවා ය.
” මහත්තයා.... ඔයාට කොහෙන්ද මාලෙ ගන්න සල්ලි හම්බ වුණේ. ”
” මං ළඟ ඔයාට මේ මාලෙ ගන්න එකතු කළ සල්ලි වගයක් තිබුණා. තව පහළොස් දාහක් විතර මදි හින්දයි මාලෙ අරන් දෙන්න පරක්කු වුණේ. ඔයා ඊයෙ ඒ නිසා ගොඩක් දුකින්නේ හිටියේ. මං මදි පාඩුවට මගේ මඟුල් මුද්ද උකස් තියලා සල්ලි ගත්තා. ”
මෙය කියනවාත් සමඟ ම ඇය හඬන්නට වූවා ය.
” අනේ ඇයි ඔයා ඒ වගේ දෙයක් කළේ. අපේ ජීවිතේ වටිනාම දෙයක් උකස් තියලා ඇයි ඔයා මේ මාලෙ ගෙනාවේ. ”
" මට සමාවෙන්න මහත්තයා. මට මේ මාලෙ එපා. අපි මේක දීල සල්ලි අරගෙන මුද්ද අරගමු.”
” නෑ ..... ඔයා ඒ ගැන හිතන්න එපා. ඊළඟ මාසෙ මට බෝනස් හම්බ වෙනවනෙ අපි එ්කෙන් මුද්ද බේරගමු. ”
” ඒක නෙමේ ගමනායකගෙ නෝනගෙ මාලෙ රත්තරන් නෙමේලූ. ඒක නැතිවෙලා. අද එයාලා මෙහෙ ආව ඒක මෙහෙවත් වැටිලද බලන්න. ”
” ආ......... ඇත්තද? ඒකට කමක් නැහැ. ඔයාට ලස්සන මාලයක් හම්බ වුණානෙ ”
” මට සමාවෙන්න මහත්තයා..... ”
ඔහු සිය ප‍්‍රිය බිරිඳව ආදරයෙන් තමා සමීපයට ගෙන වැළඳ ගත්තේ ය.
Thursday, July 14, 2016
ලකල් සෙනෙහස
සොදුරු සැදෑවක
විල්තෙර අයිනේ
සුපිපි කුසුම් ලෙලදෙන සුළගේ
නොනිමි පහන් යුග
නෙත් දල්වාගෙන මා සිටියේ ඔබ
ඒන පෙරමග බලමිනි
ඒදවස ඔබෙ නිලුපුල් නෙත්යුග
දුටුවේ මා රන්හිරු ලෙසිනී
දෑතම පටලා දෙදෙනා ගිය මග
කෙතරම් සොදුරුද
අදටත් සිහිවේ
ඔබේ නිහඩ මුදු අහිංසක වත
ගෙනාවෙ මට මුදු අාදර හැගුමන්
ඒනමුදු
ඔබෙ මුදු ගතිගුණ දැනුෙණ් මාහට
අමිල වූ දිවි මංපෙත ලෙසිනී
ඒදවස සිට මගෙ සෙනෙහස මා
ඔබේ නමට සැමදා ලීවෙමි
Subscribe to:
Posts (Atom)