Friday, July 15, 2016

මගුල් මුද්ද

                                   
                                               
                                                      

                                                   

                                                                සිය මිතුරෙකුගේ ප‍්‍රිය සාදයකට සහභාගී වූ සරත් සිය බිරිඳ වූ රූපිකා සමඟ ඔවුන්ගේ මෝටර් රථයෙන් නිවස බලා පැමිණෙමින් සිටියේ ය. ඇයගේ සිතෙහි සාදය පිළිබඳව තිබුණේ ඉමහත් ප‍්‍රසාදයකි. සිය සැමියා සමඟ නිවස බලා යන ගමනේ දී කතාබස් කරමින් පැමිණියේ ද සාදයේ තොරතුරු ය. එහිදී ගැහැණු පිරිමි රංගනයේ යෙදුණ හැටි කාන්තාවන්ගේ ආභරණ විලාසිතා ආදිය පිළිබඳව ඉමහත් රුචියකින් යුතුව පැවසුවා ය. මීට පෙරද ඔවුන් මෙවැනි සාදයන් සඳහා සහභාගී වී තිබුණ ද මෙම සාදය එම සෑම සාදයකටම වඩා නැවුම් බවක් වෙනස් මගක් ගත් බව සිය ප‍්‍රිය බිරිඳගේ මතය විය. මෝටර් රථය පදවන සිය සැමියාගේ අවධානය තම කතාව වෙතට ලබා ගැනීම සඳහා ඇය විටින් විට කතාව ගලා යන ආකාරය වෙනස් කරමින් කතා කරන්නට වූවා ය. එහිදී ඇය ” ඒක නෙමේ අනේ , මාර වැඩක්නෙ මහත්තයා අද වුණේ , මං මේ ඔයාට කියන්නමයි හිටියෙ ” ආදී වදන් සිය කතාවට එක්කර ගත්තා ය. එකී සෑම අවස්ථාවකදී ම ඇය බලාපොරොත්තු වූයේ සිය සැමියාගේ අවධානය තමා වෙතට නතුකර ගැනීමට ය. ඔවුන් සිය නිවස වෙත ළඟාවන විට මධ්‍යම රාත‍්‍රිය පසුවී පැයක් පමණ ගතවී හමාරය. නිවසට පැමිණි පසුද බිරිඳගේ කතාවේ අවසානයක් දක්නට නොලැබිණ. කතාව කොතනින් පටන් ගත්ත ද එහි කෙළවර වන්නේ සාදය පිළිබඳ තතු පැවසීමෙනි. පසු දින කාර්යාලයට යාමට තිබූ හෙයින් සරත් ඇඟපත සෝදාගෙන නින්දට සැරසුණේ ය. ගමන් මහන්සිය තිබූ හෙයින් වෙනදාටත් වඩා ඉක්මනින් ඔහු නින්දට වැටුණේ ය. එහෙත් සිය බිරිඳ වූ රූපිකා පසුවූයේ නොනින්දේ ය. ඇය ඇඳෙහි ඒ මේ අත පෙරලෙමින් කල්පනා කරන්නට විය. බොහෝ වේලා ගිය පසු ඇය ද නින්දට වැටුණේ ය.                                                   

                                                                 මෙහි කතා නායකයා වන සරත් මධ්‍යම ප‍්‍රාන්තික පවුලක තරුණයෙකි. සිය පවුලේ වැඩිමහල් දරුවා වන ඔහුට සිටියේ නැගණියන් දෙදෙනෙකි. ඔවුන් ඔහුට වඩා වසර හතර පහකින් බාල ය. තම නැගණියන් දෙදෙනා විවාහ කරදීමට පවුලේ වැඩිමලා ලෙසින් ඔහු දිවා රෑ වෙහෙසී කාර්යාලයෙහි වැඩවල නිරත වූවේ ය. සිය පියා විශ‍්‍රාමලත් පාඨශාලාචාර්යවරයෙකි. මව ගෘහණියක් වූ අතර වත්ත පිටියේ වගා කිරීම ඔවුන්ගේ සිරිත විය. එයින්ද සුළු ආදායමක් අතට ලැබිණ. පවුලේ එකම පිරිමි දරුවා වූ හෙයින් ඔහුට වගකීම් සමුදායක් දැරීමට සිදුවිය. එකී වගකීම් වලින් පිට පැනීමට ඔහු කිසිසේත් ම උත්සාහ නොකළේ ය. සිය දෙමාපියන්ට නැගණියන් දෙදෙනාට ඔහු මහත් සේ ආදරයක් සෙනෙහසක් දැක්වී ය. ඔවුන්ව නොසළකා හරින්නට කිසිවිටෙකත් ඔහු නොසිතී ය. දිවා රෑනොබලා වෙහෙසී කාර්යාලයේ ලිපි ගොනු අතර සිරවූයේ සිය නැගණියන් දෙදෙනාව කිසිදු අඩුපාඩුවක් නොමැතිව දෑවැද්දක් සමඟ විවාහ කරදීම සඳහා ය. නැගණියන් දෙදෙනා විවාහ කරදුන් පසු ඔහුත් දෙමාපියනුත් පමණක් මහගෙදර ජීවත් විය. මවගේ සහ පියාගේ දැඩි ඇවටිල්ල මත විවාහයක් පිළිබඳ සිතන්නට ඔහුට ද කාලය එළඹිණ. මේ වන විට තිස්වන වියට ළඟා වෙමින් සිටි ඔහු ද දෙමාපියන්ගේ තීරණයට පිටු නොපෑවේ ය. වසර ගණනාවක් මඟුල් තුලා කතා කොට පළපුරුද්ද ඇති අන්දිරිස් කපු මහතා ලවා හොඳ තැනකින් කටයුුත්තක් කතා කරන්නට සිය දෙමව්පියන් කළ තීරණයට ඔහු ද එකඟ විය. අන්දිරිස් කපු මහතා ඔවුන්ගේ පවුලට පෙළපතට ගැළපෙන ආකාරයේ තරුණ ගැහැණු ළමයෙකු කතාකර තිබුණේ ය. සරත්ගේ දෙමව්පියෝ ද සරත් ද මේ කටයුත්තට කැමැත්ත පළකර සිටියෝ ය. ඇය රූපිකා නම් විය. සැබවින් ම රූපයෙන් සුන්දර වූ ඇය ගුණවත් චරිතවත් තරුණියක් වූවා ය. පියා සහ මව යන දෙදෙනාම විශ‍්‍රාමලත් පාඨශාලාචාර්යවරුන් ය. පවුලේ එකම ගැහැණු දරුවා වූ ඇයට සිටියේ ඇයට වඩා වසර අට දහයකින් පමණ වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකි. ඔවුහු විවාහ වී සිටි අතර දරුවන් දෙතුන් දෙනෙකුගේ පියවරුන් ද වූහ. පවුලේ එකම දියණිය වූ හෙයින් සැප පහසුවෙන් යුතුව දෙමව්පියන්ගේ සහ සහෝදරයන් දෙදෙනාගේ ආදරය මැද  හැදී වැඩුණා ය. පාසල් අධ්‍යාපනය උසස් ලෙස හමාර කර තිබූ ඇය දැන උගත් තරුණියක් වූ නමුදු සිය දෙමව්පියන් සහ සහෝදරයා ඇය රැකියාවකට පිටත්ව යනවාට කිසිසේත් ම කැමති නොවී ය. එහෙයින් ඇය නිවසට වී මවට උපකාර කරමින් මැහුම් ගෙතුම් කරමින් ගෙදර දොර වැඩ කටයුතු ඉගෙන ගත්තා ය. පවුල් දෙකේම කැමැත්තෙන් සහ දෙමව්පිය නෑදෑ වැඩිහිටියන්ගේ ආශිර්වාදය මත වෙසක් මස සුභ දිනයක දී ඔවුහු විවාහපත් වූහ. සරත් රූපිකාට වඩා වසර හතකින් වැඩිමහල් වූවේ ය. මේ වන විට විවාහ වී වසරක් පමණ ගතවී ගොස් ය. 

                                                                        පසු දින එලාම් ඔරලෝසුවේ නාදයෙන් තිගැස්සී අවදි වූ සරත් ලහි ලහියේ කාර්යාලයට යාමට සූදානම් විය. පෙරදින සාදයට සහභාගී වී පැමිණි හෙයින් බිරිඳ මේ වන විටත් තද නින්දේ පසුවිය. ඔහු ඇය දෙස ඉතා ආදරයෙන් බලා ඇඳ සමීපයට ගොස් ඇගේ හිස පිරිමදින්නට වූවේ ය. ඒත් සමඟ සිහින් කෙඳිරියකින් ඇගේ නෙතුපියන් විවර විය.


 ”සුදු මැණික මම වැඩට යන්න හදන්නේ......ඔයා තව ටිකක් නිදා ගන්න”  

රූපිකා ඉතාමත් අපහසුවෙන් නැගිට තේ සෑදීමට සැරසුණේ ය. සරත් ඇයව වළකන්නට විය. 

” අද මට තේ  ඕනේ නෑ සුදු මැණිකෙ. ඔයා නිදා ගන්න. එක දවසක් තේ බිව්වෙ නෑ කියල මොකවත් වෙන්නෙ නෑනෙ. ” 

යනුවෙන් ආදරයෙන් ඇය දෙස බලා කීවේ ය. සරත් ඇයව ආදරයෙන් තුරුලූ කරගෙන දෙකම්මුල් සිඹින්නට වූවේ ය.         

මම දැන් යනවා. ඔයා ඇවිත් දොර වහගන්න ”      

රූපිකා සිය සැමියාට සමුදුන්නේ ඉමහත් දුකකිනි. ඒ ආදරණීය උණුසුමෙන් මොහොතකට හෝ ඈත්වීමට සිදුවීම මහත් දුකක් ගෙන දුන්නේ ය.  

” හා.....ඔයා පරිස්සමින් ගිහිං එන්න. බුදු සරණයි ” සරත් නිවසෙහි කඩුල්ල සමීපයට යත්ම රූපිකා නැවත සිය හඬ අවදි කළා ය. ඇය උස් හඬින් මෙසේ කීවා ය.           

” හවසට ඉක්මනින් ගෙදර එන්න. මං බලාගෙන ඉන්නවා..... ආ.... තව ඔයාට කියන්න දෙයක් තියෙනවා. ”                            

 ඔවුන් දෙදෙනා ජීවත් වූයේ සරත්ලාගේ මහගෙවල් වලට කිලෝ මීටර හතක් පමණ එහායින් පිහිටි අල්ලපු ගමෙහි ය. රූපිකාට දායාද සඳහා දෙමව්පියන්ගෙන් මෙම නිවස හිමිවිය. රූපිකාගේත් ඇයගේ දෙමව්පියන්ගේත් දැඩි ඇවටිල්ල මත සරත් දෑවැද්දට ලැබුණු මෙම නිවසෙහි පදිංචියට පැමිණියේ ය. ගම්පහ නගරයට නුදුරින් පිහිටි සුන්දර ප‍්‍රදේශයක් වූ තම්මිට ගම්මානයෙහි රූපිකාගේ සහ සරත්ගේ මෙම නිවස පිහිටියේ ය. සරත් ගම්පහ නගරයෙහි පිහිටි සාප්පුවක කාර්යාලයෙහි සේවය කළේ ය. ඔහුගේ වැටුප හතලිස් දාහ නොඉක්ම වූවේ ය. සිය බිරිඳගේ දැඩි ඇවටිලි කිරීම මත මීට මාස හතරකට පමණ පෙර ඔහු ෆොක්ස් වැගන් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගත්තේ බැංකු ණයක් ලබාගෙන ඒ ආධාරයෙනි. එමනිසා සරත්ගේ මාසික වැටුපෙන් සැළකිය යුතු මුදලක් මේ ණය ගෙවීම සඳහා වැයවේ. එදින කාර්යාලයේ දී ඔහුට තමා පැමිණෙන විට බිරිඳ පැවසූ යමක් සිහියට නැගෙන්නට විය. 

” ඔයාට කියන්න දෙයක් තියෙනවා ඉක්මනට එන්න ”

 මෙම වදන් ඔහුගේ සිතෙහි දෝංකාර දෙන්නට වූවේ ය. ඔහු විටින් විට සිය ඔරලෝසුව දෙස බැලූවේ ය. වේලාව සවස පහයි කාල වන විට කාර්යාලයෙහි වැඩ අවසන් ය. වෙන දිනයන් වලදී මෙන් මිතුරන් සමඟ අල්ලාප සල්ලාපයෙහි නොයෙදුණු ඔහු ලහි ලහියේ ඊයක වේගයෙන් පැමිණ සිය මෝටර් රථයට නැංගේ ය. වෙනදා මෙන් බිරිඳ තමන් එනතුරු කඩුල්ල අසලට විත් බලා සිටින අයුරු ඔහු ඈත තියා දුටුවේ ය. එය ඔහුට මහත් ප‍්‍රීතියක් ගෙන දුන්නේ ය. බිරිඳ කෙරෙහි ආදරය දලූලා වැඩෙන්නට මෙය ද හේතුවක් විය.        

  ” ඔයා අද වෙනදට වඩා ඉක්මනින් ඇවිත් ”    

 ” ඉතින් ඔයා මට කියන්න දෙයක් තියෙනව කියල ඉක්මනින් එන්න කිව්වනෙ ”                       

බිරිඳ පවසන සෑම දෙයක් ම සාවදානව අසා සිටීමේ පුරුද්ද ඔහු ප‍්‍රගුණ කර සිටියේ ය. සිය නැගණියන් දෙදෙනාට දැක් වූ ආදරය , සෙනෙහස සිය බිරිඳට ද ඔහු දැක්වූවේ ය. ඇයට ආදරයෙන් කතා කරන්නට ඇයත් සමඟ දොඩමළු වන්නට ඔහු තුළ පැවතියේ නොමඳ කැමැත්තකි. ඉවසීමෙන් කටයුතු කරන ඔහු කෝප වන්නේ ඉතාමත් කලාතුරකිනි. මේ හේතුව ඔවුන්ගේ විවාහ ජීවිතය තුළ ගැටුමක් ඇති නොවීමට තුඩු දුන්නේ ය. රූපිකා සිය සැමියාට ඉඟුරු දැමූ තේ කෝප්පයක් සාදා ගෙනැවිත් දුන්නේ ය. දෙදෙනාම අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට විය.         

” මේ ....... මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.”   

  ” මං මේක ..... කියනවද..... නැද්ද..... කිය කිය හිත හිතා උන්නෙ.” 

   සරත්ගේ කුතුහලය දැල්වුණි.   

” ඉතිං කියන්නකෝ මොකක්ද කියලා. ”  

 ” අර..... අපි එදා පාර්ටි එකකට ගියේ......”   

” ඉතිං .... ඉතිං....”   

”එහෙදි මිස්ටර් ගමනායකගෙ නෝනව ඔයා දැක්කද?” 

 ” ආ ..... අර මිසිස් චාන්දනී ද?”  

 ” ඔව් ඔව් එයා තමයි. ”  සරත්ගේ කුතුහලය තව තවත් වැඩිවිය. සිය බිරිඳ තමාට කියන්නට සැරසෙන්නේ කුමක්ද කියා ඔහුට තවමත් නොවැටහුණි 

 ” ඉතිං?” 

 ” අනේ...... ඔයා දැක්කද එයා දාගෙන ඇවිත් තිබුණ මාලෙ. මං ඔයාගෙ අත එවේලෙ කෙනිත්තුවෙ, ඔයත් එතකොට මාලෙ දිහා බැලූවෙ ”  

ඔහුට ද එම දසුන් පෙළින් පෙළට මැවෙන්නට විය.   

” ඔව් ඔව් මට හොඳට මතකයි. ඉතිං මොකක්ද ඔයා කියන්න හදන්නෙ” 

  ” ඒ මාලෙ හරිම......... ලස්සනයි අනේ ” 

  රූපිකා සිය සැමියා වට දැවටෙන්නට විය. ඔහු සමීපයට විත් ඇය හිඳ ගත්තා ය.  

 ” අනේ........ මටත් ඒ වගේ එකක් තියෙනවනං ”  

” ඒ වගේම එකක් නැති වුණාට ඔයාටත් ලස්සන මාලයක් තියෙනවනේ....”  

” ඒක ඉතිං මඟුල් ගේ දවසේ පෝරුවෙදි දැම්ම එකනෙ. ඒකෙ පැටන් එක දැන් පරණයි.....” 

සිය බිරිඳ පවසන්නට සැරසෙන්නේ කුමක්දැයි දැන් ඔහුට හොඳහැටි පැහැදිළි ය.  

  ” ඉතිං ඔයා මට මොකක්ද කියන්නෙ? ”  

  ” අනේ...... මහත්තයා...... මටත්..... ඒ.... වගේ..... එකක් අරන් දෙනව ද? ” 

රූපිකාගේ අහිංසක ආයාචනය ඉවත දැමීමට සරත්ට නොහැකි විය.    

” හා.....මං ඔයාට තව මාස දෙක තුනකින් අරං දෙන්නංකෝ. ”  

 ” ඔයා දන්නවනේ....... සුදු මැණිකෙ. කාර් එක ගත්තට පස්සෙ සැලරි එකෙන් සෑහෙන ගාණක් බැංකුවට ගෙවෙන බව. එ් නිසා තව මාස දෙක තුනකින් මං ඒ මාලයක් අරං දෙන්නං.” 

මෝටර් රථය ගැනීමෙන් පසු වැටුපෙන් සැළකිය යුතු ප‍්‍රමාණයක් බැංකු ණය සඳහා ගෙවීමට සිදුවන අතර සරත් සිය දෙමව්පියන්ට ද සෑම මසකම මුදලක් වෙන් කරයි. ඉතිරිවෙන මුදල හිඟයක් නොමැතිව සුවසේ ජීවත් වීමට පමණක් ප‍්‍රමාණවත් විය. ඉන් ඉතිරිය සඳහා වෙන්කළ හැක්කේ ඉතාමත් ම සුළු මුදලකි.                       

                                                          දින සති මාස ගතවී යමින් පැවතිණ. සරත් සෑම දිනකම උදෑසන කාර්යාලයට ගොස් නැවත හවස් යාමයේ දී නිවසට පැමිණියේ ය. රූපිකා ද ගෘහණියකගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කරමින් සිය සැමියා සමඟ සතොසින් කාලය ගත කළේ ය. ඔවුන්ගේ ජීවිතය සාමකාමීව ගලා යන්නට විය. එක් දිනක් හදිසියේ ම ගමනායකත් ඔහුගේ බිරිඳ චාන්දනීත් සරත්ලාගේ නිවසට පැමිණියා ය.   

 ” ආ....... එන්න එන්න මේ මිස්ටර් ගමනායකලනෙ.... ඇවිත් වාඩිවෙන්න. ”  රූපිකා ඔවුන්ට තේ සාදාගෙන එ්ම සඳහා සැරසුණාය.   

 ” අනේ රූපිකා අපිට දැන් වෙලාවක් නෑ තේ බොන්න. තරහා වෙන්න එපා. අපි මේ පාර්ටි එකකට යන ගමන්. ” 

 ටික වේලාවක් කතාබහ කරමින් සිටි ඔවුහු නිවසින් පිටත් වූහ. 

                                                       වැහිලිහිණියෝ නාද නගමින් අහසෙහි ඔබමොබ සක්මන් කරන්නට වූහ. මෙතෙක් වේලා නිසොල්මන්ව දැහැන්ගත වී සිටි අහස් තොමෝ ඝණ වැහිවලාකුළු ලහිලහියේ එකතු කරන්නට වූහ. මේඝවලාවන්ගෙන් පිරි අහස් තොමෝ ගැබ්බර වූහ. මුළු පරිසරය මෙන්ම ගහකොළ ද නිසොල්මන් ය. හතරවටින් අඳුර කුරගාමින් පැමිණ හාත්පස වසා පැතිරේ. අසුරු සැණින් විදිල්ලක් කෙටුවේ ය. ගෙරවුම් හඬින් අහස් ගැබ දෙදරන්නට විණ. වැහිබිඳු එක දෙක සෙමින් සෙමින් පොළෝ තලය සිපගන්නට විය. 

                                                      රූපිකා දොර ජනෙල් වසා දමා ඇඳෙහි හාන්සි වී සිටියා ය. වෙනදා මෙන් සිය සැමියා පැමිණෙන අබියසට වී සිටින්නට ඇයට අද නොහැකිය. වර්ෂාව ඊට හරස් වී ඇත. කාර්යාලයේ වැඩ නිමවී නිවස බලා පැමිණෙමින් සිටි ඔහුට බිරිඳ සිහිවිය. ඇය වැසි දිනයන් වලදී සිදුවන විදුලි කෙටීම් ගෙරවීම් ආදියට බියක් දැක්වූවා ය. සරත් ඉතා යුහුසුළුව රිය පදවාගෙන නිවස කරා ළංවෙමින් සිටියේ ය. වේලාව සවස හය පමණ වී ඇත. එහෙත් වෙනදා මෙන් නිවසෙහි විදුලි බුබුළු දල්වා නොමැත. බිරිඳ මෙවැනි වැසි දිනයන් වලදී බියක් දක්වන හෙයින් ඇය ඇඳට වී නිදා සිටිනවා වන්නට ඇතැයි සරත් සිතන්නට විය. ඔහු නිවසේ දොර අසලට ගොස්,  ” සුදු මැණිකේ......සුදු මැණිකේ. ” යනුවෙන් දෙතුන් වරක් ඇමතුවේ ය. ටික වේලාවකින් නිවසේ දොර ඇරුණේ ය. වෙනදා මෙන් සොම්නස් බවක් සිය බිරිඳගේ මුවෙහි නැතිබව දුටු සරත් වහවහා ඇයගෙන් එ් පිළිබඳව විමසා සිටියේ ය.   

 ” ඔයාගෙ මූණත් හොඳටම මැලවිලා වගේ. ඔයාට මොකක් හරි අසනීපයක්වත් ද? ”     

 ” නෑ මොකුත් නෑ. මගෙ ඔළුව ටිකක් රිදෙනව වගේ. ” 

සරත්  ඕඩික්ලෝන් බෝතලය ගෙනවිත් රෙදි කැබැල්ලකට  ඕඩික්ලෝන් දමා බිරිඳගේ නළල මත තැබුවේ ය. ඇය මදක් නුරුස්නා බැල්මෙන් යුතුව සිය සැමියා දෙස බැලූවා ය. ඇයට හැඬුම් එන්නට විය.     

 ” මං ඔයාට කොච්චර කිව්ව ද? දැන් මාස තුන පහුවෙලා කී දවසක් වෙනවද? අද ගමනායකයි එයාගෙ නෝනයි ආව පාර්ටි එකකට යන ගමන්. ” 

සරත්ට සිදුවී ඇති දෙය පැහැදිළි විය. බිරිඳ හඬන්නට වූවා ය.      

 ” මං ඔයාට කී දවසක් නම් කිව්ව ද? ඔයා මට ගෙනත් දෙනවා කියල පොරොන්දු වුණා. පොරොන්දු වුණේ නැත්නම් කමකුත් නෑ. ඒත් පොරොන්දුවෙලා ගෙනත් දුන්නේ නැති එකයි මට දුක. ”

සරත් ඇයට පොරොන්දු වූ පරිදිම එය ගෙනත් දීමට  සිතා සිටි නමුදු එකතු වී තිබූ මුදල ඊට ප‍්‍රමාණවත් නොවී ය. තව ද මුදල් අවැසි වූ හෙයින් ඔහු ඒ මුදල ද එකතු කර ගනිමින් බිරිඳට එවැනි මාලයක් ගෙන දීමට සිතා සිටියේ ය. එදින රාත‍්‍රියේ දී බිරිඳ ඔහු සමඟ කතා නොකොට රැුය පහන් කළේ ය. සුපුරුදු පරිදි සරත් උදෑසන රැකියාවට පිටත්ව යාමට සූදානම් විය. බිරිඳ ද තේ සාදා ගෙනැවිත් මේසය මත තැබූ අතර වෙනදා මෙන් ඔහු සමඟ දොඩමළු නොවූවා ය.   

                                                            රූපිකා නිවසෙහි වැඩ කටයුතු නිමකොට ආලින්දයට පැමිණ පුවත්පතක් බලමින් සිටියා ය. එක්වරම කාරයක් පැමිණ නිවසෙහි ඉදිරිපිට නවතන ශබ්දයක් ඇසී ඇය මිදුල දෙසට දිව ගියා ය. ඇය එවේලෙහි අපේක්ෂා නොකළ මුත් පැමිණ සිටියේ ගමනායක යුවල ය. මිස්ටර් ගමනායක වෙනදා මෙන් සිනහමුසු මුහුණින් පැමිණි මුත් බිරිඳගේ සිතෙහි කිසියම් කනගාටුවක් ඇති බව ඇයගේ මුහුණ දෙස බැලූ රූපිකාට වැටහුණා ය. දෙදෙනාට ම නිවස තුළට පැමිණෙන ලෙස රූපිකා ආරාධනා කළා ය. 

” බලන්නකො මෙයාට මාර වැඩක් වෙලානෙ......”  

යනුවෙන් පවසා ගමනායක මහ හයියෙන් සිනාසෙන්නට විය. එහෙත් ඔහුගේ බිරිඳගේ මුහුණ සොවින් ය. 

”  රූපිකා..... ඊයෙ අපි පාර්ටි එකට යද්දි මෙහෙ ආවනෙ. බලන්නකෝ.....මගේ මාලෙ කොහේහරි වැටිලනෙ. මෙහෙ වැටිලාවත් ද? කියලා බලලා යන්න ආවෙ. ”    

” ආ.........අයියෝ........ ” යනුවෙන් රූපිකාට කියවුණි.    

 ” මෙහේනම් වැටිලා තිබුණේ නෑ මිසිස් චාන්දනී. එ්ක ලොකු ගාණක් වෙන්නැති. ඔයා පාර්ටි එකට ගිය තැන බැලූවේ නැද්ද? ”    

” බැලූවා හැමතැනකම බැලූවා. ඒත් ඒ එක තැනකවත් මාලෙ තිබුණෙ නෑ. මට හරිම දුකයි ඒ ගැන. ” මේ මොහොතේ ගමනායක හඬ අවදි කළේ ය.    

  ” ඒක වටිනා මාලයක් නම් කමකුත් නෑ. ” රූපිකාට මෙම කියමන ප‍්‍රහේලිකාවක් විය.        ”ඇයි ඒක වටින්නේ නැත්තෙ.......?”     

 ” ඒක රත්තරන් මාලයක් නෙමේ. රෝල්ගෝල් එකක්. ඔය අපේ එක්කෙනා පිටකොටු ගිය වෙලාවක දැකලා ලස්සන නිසා ගෙනැල්ලා ”   ඔහු සිනාසෙමින් පැවසුවේ ය. 

”අනේ ඇත්ත ද! ඒත් ඒක රත්තරන් වගේමයි ” 

” අද කාලේ ඒ වගේ එකක් දාන්නේ කොහොම ද? හැම තැනම හොරුනේ....... හරි ලස්සන මාලෙ. හැමෝම කිව්වා ඒක හරිම ලස්සනයි කියල. අපරා.....දෙ මගේ මාලෙ.”   

වෙනදාට වඩා දිගු වේලාවක් කතාබහ කරමින් සිටි යුවල රූපිකාලගේ නිවසින් පිටත්ව ගියා ය. ඔවුන් පිටත්ව ගිය පසු සැනසුම් සුසුම් හෙලූ රූපිකා සිය සැමියා එනතුරු පෙරමග බලා සිටියා ය. ඔරලෝසුවෙහි හයේ කණිසම නාද වන්නට වුවත් සිය සැමියා පැමිණියේ නැත. රූපිකා ඔරලෝසුව දෙස බලමින් සිය සැමියා පැමිණෙන තුරු නෙත් අයා බලාගෙන සිටියා ය. වේලාව රාත‍්‍රී හතත් පසුවිය. එහෙත් ඔහු තවම නැත. මඳ වේලාවක් යත් ම සරත්ගේ මෝටර් රථයේ හඬ ඇසී රූපිකා කඩුල්ල දෙසට දිව ගියේ සොම්නසින් පිරි මුහුණින් යුතුව ය. සරත් වාහනය ගරාජයේ දමා සිය බිරිඳව තමා සමීපයට ළංකර ගනිමින් නිවස තුළට පියමැංනේ ය. බිරිඳ තමාට යමක් පවසන්නට සිතා සිටින බව ඔහුට දැණුන ද එය මොහොතකට පසෙකලා ඔහු ඇයව පුදුම කරන්නට සිතුවා ය.  

 ” මං ඔයාට පොඩි දෙයක් ගෙනාවා. ඇස් වහගන්නකෝ. ආ....... හරි දැන් ඇස් අරින්න. ” ” ෂා.......... හරිම ලස්සන මාලයක්. ” 

 ” ඔයා කිව්ව වගේ මාලයක් මම ගම්පහ හැමතැනම හෙව්වා. ඒත් ඒ වගේ ම එකක් තිබුණේ නෑ. ඉතිං මං හොයලා බැරිම තැන ඒකට ගොඩාක් ම සමාන මේ මාලෙ අරගෙන ආවා.” 

රූපිකා ඇයට එවන් මාලයක් ලැබීම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටු වූවා ය.  

 ” මහත්තයා.... ඔයාට කොහෙන්ද මාලෙ ගන්න සල්ලි හම්බ වුණේ. ”  

” මං ළඟ ඔයාට මේ මාලෙ ගන්න එකතු කළ සල්ලි වගයක් තිබුණා. තව පහළොස් දාහක් විතර මදි හින්දයි මාලෙ අරන් දෙන්න පරක්කු වුණේ. ඔයා ඊයෙ ඒ නිසා ගොඩක් දුකින්නේ හිටියේ. මං මදි පාඩුවට මගේ මඟුල් මුද්ද උකස් තියලා සල්ලි ගත්තා. ” 

මෙය කියනවාත් සමඟ ම ඇය හඬන්නට වූවා ය.  

” අනේ ඇයි ඔයා ඒ වගේ දෙයක් කළේ. අපේ ජීවිතේ වටිනාම දෙයක් උකස් තියලා ඇයි ඔයා මේ මාලෙ ගෙනාවේ. ” 

" මට සමාවෙන්න මහත්තයා. මට මේ මාලෙ එපා. අපි මේක දීල සල්ලි අරගෙන මුද්ද අරගමු.”

 ” නෑ ..... ඔයා ඒ ගැන හිතන්න එපා. ඊළඟ මාසෙ මට බෝනස් හම්බ වෙනවනෙ අපි එ්කෙන් මුද්ද බේරගමු. ” 

” ඒක නෙමේ ගමනායකගෙ නෝනගෙ මාලෙ රත්තරන් නෙමේලූ. ඒක නැතිවෙලා. අද එයාලා මෙහෙ ආව ඒක මෙහෙවත් වැටිලද බලන්න. ” 

” ආ......... ඇත්තද? ඒකට කමක් නැහැ. ඔයාට ලස්සන මාලයක් හම්බ වුණානෙ ” 

” මට සමාවෙන්න මහත්තයා..... ”    

ඔහු සිය ප‍්‍රිය බිරිඳව ආදරයෙන් තමා සමීපයට ගෙන වැළඳ ගත්තේ ය.









                                                                                                        

13 comments: