Sunday, August 28, 2016

සාලිය අශෝකමාලා පෙම් පුවත හා සබැඳි ජනප්‍රවාද














ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා ප්‍රසිද්ධ ප්‍රේම කතාවක් වන සාලිය අශෝකමාලා පුරාවෘත්තය තන්තිරිමලය හා සමඟ බැඳී පවතී. ශ්‍රි ලංකාවේ පෞරාණික, බලැති රජ කෙනෙක් වන දුටුගැමුණු රජුගේ එකම පුත්‍රයා සාලිය කුමාරයායි. ඒ අනුව රටේ කිරුළ හිමි කුමාරයා සාලිය කුමරු විය. වරක් අශෝක නැමති ගසකින් මල් නෙලන සුරූපි තරුණියක් ඔහුගේ නෙත ගැටුණි. ඇය හා සමඟ එසැණින් ඔහු ආදරයෙන් වෙලුණි. පසුව ඇය චණ්ඩාල කුලයට අයිති කුලයෙන් පහත් කෙනෙක් බව කුමරු දැන ගන්නා ලදි. එකල කුලය මෙවැනි සම්බන්ධතා වලට තදින්ම බලපාන කරුණක් වන අතර බොහෝ දුරට දෙදෙනාට ම මරණ දඬුවම හිමි විය හැකි විය.

නමුත් මේ වන විට හදට හද එකතු වී ඇති අතර නීතිය කුමක් වේවිද යන්න දැන සිටියේ නැත. ඔවුන් එකිනෙකා ඉතා ළගින් බැඳුණු අතර කුලය නැමති පටු අදහස ඔවුන්ගේ ආදරයට එබිකම් කරන්නට දුන්නේ නැත. මෙම රහසිගත ආදර කතාව සැනින් පැතුරුණු අතර රජුගේ ද කණ වැකුණි. රජතුමා අධික කෝපයෙන් යුතුව සැණින් කුමාරයා පිටුවහල් කරන ලදි. මෙම ඔටුණු හිමි කුමාරයාට ඔටුන්න ප්‍රසිද්ධිය හා සිය පවුල අහිමි විය. නමුත් ඔහු පොඩ්ඩක්වත් ඒ ගැන කනගාටු වූයේ නැත. මන්ද ඒ වන විට ඔහු අශෝකමාලා‍ කුමරියගේ හද තුළ කිරුළ පළඳා තිබුණු බැවිනි. ඔවුන්ගේ ආදරයේ රාජධානිය ලෙස තෝරා ගත්තේ තන්තිරිමලය යි.

මහා වංශයේ සඳහන් වන පරිදි  "දුටුගැමුණු රජුගේ රාජ්‍යයෙහි ජනයෝ පින ගිය සිත් ඇත්තෝ වූහ. ඒ රජ හට සහලි රාජකුමාරයයි විශ්‍රැත වු සිතෙක් විය. හෙ තෙමේ අතිශයින් පුණ්‍යවන්ත විය. සදාකලැ පුණ්‍යකර්ම කරණයේ ඇලුනෝ විය. හෙතෙම පුර්ව ජාතියෙහි සම්බන්ධ වු සැ‍ඩොල් කුල උපන් අශෝකමාලා නම් දේවීය ඉතා ලාවණ්‍ය රූ ඇති බැවින් අතිශයින්ම ඇය මත ප්‍රියකරන්නේ රාජ්‍යය නොපැතුවේය.” (පරිච්ඡේද - 33)

එක සමයක මහරජ මේ ප්‍රදේශය නැරඹීමට ගිය විට අශෝකමාලා විසින් පිසින ලද ඉතා රසවත්ල‍ ‍‍ඹෞෂධීය ආහාරයක් වන  "රත්තම්පලා” පිඟානක් යවන ලද අතර ඒවා කොහෙන් ලද්දේදැයි විමසීමට පෙළඹුණි. එහිදී සේවකයා පැවසූවේ, මහරජ අශෝකමාල ගෙන ආ බවයි. එවිට රජතුමා තරහින් වියරුවැටීල අතේ තිබුණු රත්තම්පලා පිඟාන බිත්තියට තදින් වදින ලෙස විසි කරන ලදි.

කාලය ටිකෙන් ටික ගෙවී ගිය අතර අනුරාධපුරයේ ‍රජු විසින් ගොඩනැගූ ගොඩනැගිලි වල ගල් මෙන් රජුගේ ගල් වැනි හිත ඔහුගේ පුත් කෙරේ කවදාවත්ම මොළොක් වූයේ නැත. වරක් කුඩා විසප්පු ගෙඩියක් නිසා රජුගේ කකුලේ තුවාලයක් හට ගත්හ. ඒක ඉතා වේදනාකාරී වු අතර රාජකීය වෙදවරුන් කැඳවන ලදි. ඔවුන් ඔවුන්ට හැකි අයුරින් වෙඳකම් කළ නමුත් තුවාලය එන්න එන්නම නරක් අතට හැරෙන්නට විය. අවසාන බෙහෙත් වට්ටෝරුවට  "රත්තම්පලා” අවශ්‍ය වුණ නමුත් එය කොහෙන්වත් සොයා ගැනීමට නොහැකි විය. එක්දිනක් රජතුමා බිත්තියට ගසා දැමු පිඟානේ තිබු රත්තම්පලා ඇලී වේලී තිබු අයුරු මතක් වුණ සේවකයා හැකි ඉක්මනින් ඒවා සූරාගෙන එන ලෙස දන්වමින් රාජ්‍ය ආරක්‍ෂකයින් පිටත් කර යවන ලදිග. බෙහෙත් ඉක්මනින් සොයාගත් අතර තුවාලය ද ඉක්මනින් සුව විය. පසුව රජු රත්තම්පලා කොහෙන් සොයාගත්තේදැයි විමසන්නට විය. එවිට සේවකයා බියෙන් යුතුව ඒ සම්බන්ධව සියළුම කතාව කියු අතර රජතුමා අශෝකමාලා ගැන මහත්සේ කනගාටු විය. එසැන්නිම එම දෙපල රජමාළිගයට කැඳවන ලද අතර දෙදෙනා සඳහා රාජ මංගල්ල්‍යයක් සැලසුම් කළේ ය. රජතුමා මේ සුන්දර තරුණිය දැක අතිශයින් ප්‍රීතියට පත් වු අතර සමාව ද දුන්හ.

නමුත් ඔවුන් තවමත් නගරයේ චණ්ඩාල කුලයේ වන නිසා ඔවුන් ජිවත් විය යුතුව ඇත්තේ තන්තිරිමලය සහ මහවිලච්චිය ප්‍රදේශයේ යි. රජතුමා අශෝකමාලා කුමරියට  "තන්තිරියා” නමින් හඳුන්වන ලබන සමනළ හැඩයට පබළු වලින් සාදන ලද රත්තරං මාලයක් තෑගි කරන ලදි. පසුව අශෝකමාලා කුමරිය විසින් එම මාලය ගලක නිධන් කරන අතර එම ස්ථානය  "තන්තිරිමලය” ලෙස හඳුන්වන ලදි.



අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.


http://www.tantirimale.com/

2 comments: